Tuesday, September 6, 2016

හිරු එළිය නොවැටෙන ස්ත්‍රීපුර කන්ද මාලිගාවේ සිටිය සීතාට කුෂ්ඨ රෝගයක් හැදෙයි

ලංකා ඉතිහාසයේ සියල්ලටම නටබුන්නෂ්ඨාවශේෂ නැත. බොහෝ දේ ඉතිහාස කතා ඔස්සේ ඇතුළට කිඳා බැස සෙවිය යුතුය. මේ රාවණ කතාව වනාහි එවැනි ඉතිහාස කතාවක් ඔස්සේ දිවෙන්නකි.
රජ සමයට අයත් පැරණි පුස්කොළ පොතින් මතුකොට නව පර්යේෂණ ඔස්සේ මෙය ඉදිරියට ගලයි. විජයගේ ඉතිහාසය පිළිගත් කීප දෙනකුට මෙය රිදුම් කෑ කතාවක් වුණත්, එතැනින් එහා ඉතිහාසය පිළිගන්නා නැණවතුන් මෙය ජාතික කාර්යභාරයක් කොටගත් බව පෙනේ. අවුරුදු 7,500 කට එහා ඉතිහාසයක් ලිවීමේදී ගැටලූ නැත්තේ නොවේ. මහාවංශයේ ලංකා රාජාවලිය විජයගෙන් ඇරඹෙන්නකි. මහාවංශය අවශ් කෙනකුට අරන් බලා කියවන්නට මාර්ග තිබේ. එහෙත් එතැනින් එහා ඉතිහාසය කෙසේ කියවන්නද?

මේ ගමන පල්ලේගම හරහා ගොස් මැද මහනුවරට මෙපිට බිම් කඩකින් යහන්ගල සොයා යෑමටයි. යහන්ගල රාවණා ඉතිහාසය පිළිබඳ කදිම භූගෝලීය සාක්ෂියක්. හෙළ ඉතිහාසයේ සංධිස්ථානයක්. අතරමඟදී හමු වූ පුද්ගලයන් දිගින් දිගටම විමසා සිටියේ සීතා දේවියගේ ආභරණ නිධානය සොයා යනවා දැයි කියා. කෙසේ වෙතත් දිවයිනේ අස්සක් මුල්ලක් නෑර පැතිර තිබූ අනෝරා වර්ෂාව යහන්ගල තරණය කිරීමට තහංචි පනවා තිබුණා.
එකම විකල්පය නැවැත ගල උඩ පැල කරා ගොස් හෙළ ඉතිහාසය රඳාපවත්නා මුඛ පරම්පරාවට පිවිසීම. ඇමැතුමක් දුන් සැණින් රණමුරේගෙදර ගල උඩ දේශකයා ඒ සඳහා කැමැත්ත ප්‍රකාශ කළා. අපගේ මාතෘකාව වර්ෂාව සමඟ ඇදී ගියේ නාය යෑම යන ස්වාභාවික ව්‍යසනය කරා. අප සිටින මාතලේ දිස්ත්‍රික්කයේ ජනයා වර්ෂාව සමඟ පැමිණෙන බාලගිරි දෝෂය වැනි නාය යෑම්වලට දක්වන්නේ අප්‍රමාණ බියක්.

ඇයි නාය යෑම්වලින් මාතලේ දිස්ත්‍රික්කය මෙතරම් බැට කන්නේ ?

භූවිසමතා සිතියම් අධ්‍යයනය මඟින් යම් පිළිතුරක් මේ සඳහා ලබාදිය හැකි වුවද අප කතානායක තෙමේ ඒ සඳහා පිළිතුරු සොයන්නේ හෙළ ඉතිහාසයෙන් නිසා කිසිවක් නොපවසා අසා සිටින්නන් බවට පත්වීමට අපි කැමැත්තක් දැක්වූවා.

රාවණා උත්තමයා යක්ඛ ගෝත්‍රයට අයිති කෙනෙක්. යක්ඛ ගෝත්‍රිකයෙක්. ඒ අයගේ මුල් වාසස්ථාන ඉදිකළේ කඳු වළලුවල ඉහළම ස්ථානවල. තාරකා ශාස්ත්‍රය එහෙම නැත්නම් තමන්ට ජයගන්න කිසිදාක බැරිවේ යැයි සිතපු ස්වාභාවික පරිසරය ජයගන්න තමයි ඒ අය විමාන නිපදෙව්වේ. නමුත් විමාන කියන සංකල්පය ප්‍රායෝගිකව ඒ තරම් ප්‍රයෝජනවත් දෙයක් වුණේ නැහැ. ඒක හරියට පාන් ගෙඩියක් ගේන්න හන්දියේ කඩේට යන්න කාර් එකක් පාවිච්චි කරනවා වගේ වැඩක්. ඒ හින්දා ඒ අය ස්වාභාවික පරිසරයට හානි නොකර දියුණු ප්‍රවාහන පද්ධතියක් මේ පොළොවේ පිහිටෙව්වා. ඒ තමයි උමං ප්‍රවාහනය. රාවණා රජු දවසේ ගොඩබිම් ප්‍රවාහන මාධ්‍ය වුණේ උමං. විමාන කලින් දවසක කිව්ව වගේ ප්‍රයෝජනයට ගත්තේ 'බිමන්'වලට. බිමන් කියන්නේ අහස ප්‍රවාහන මාධ්‍යයක් ලෙස යොදා ගන්නවා කියන එක. එතැනදි 'ගමන්'වලදී වැඩි ප්‍රයෝජන ගත්තේ උමං මාර්ග පද්ධතියෙන්. කෙනෙක් අහයි කෝ දැන් ඒ උමං කියල.

හෙළ ඉතිහාසය කියනවා නුවරඑළියේ තලගල (ලංකාවේ උසම කන්ද) කන්දේ ඉඳල නුවරඑළියේම කිකිළියමාන කන්දටත්, එතැන ඉඳල උෟව පරණගම ඒ කියන්නේ වැලිමඩ හරියේ ස්ත්‍රීපුර කන්ද දක්වාත් උමං මාර්ගයක් තිබිල තියෙනවා. මේ උමං මාර්ගය සීතා දේවිය එක්ක සබැඳි කතාවක්. ඉතිහාසය කියන විදියට ස්ත්‍රීපුර කන්ද කියන්නේ රාවණාගේ අන්ත--පුරය. ඒ කතා අපිට පිළිගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ වුණත් ස්ත්‍රීපුර කන්දේ ඉඳල කුෂ්ඨ රෝගයක් හැදුණා සීතාට. හිරුඑළිය අවැසි නිසා නුවරඑළියේ හග්ගලට ගෙනාවේ ඒ උමං මාර්ගයෙන් කියල කියනවා. එතන උපකල්පන දෙකක් තියනවා. ස්ත්‍රීපුර කන්ද සීමාවේ රාවණාගේ ගිරි නිවෙස ඉරඑළිය නොවැටෙන තැනක්. සාමාන්‍යයෙන් ඉර එළිය නොවැටුණාම සමේ ආසාත්මිකතා ඇති වෙනවා. දෙක උෟව පරණගම ඉඳල සීතා නුවරඑළියට අරගෙන ආපු උමං මාර්ගය. අද තියෙන භූවිසමතාව එක්ක වුණත් වැලිමඩ ඉඳල නුවරඑළියට එන එක අසීරු කටයුත්තක්.

ස්ත්‍රීපුර කන්දේ ඉඳල මහියංගණය හරහා ලග්ගලට තව උමං මාර්ගයක් තිබිල තියෙනවා. ඒ උමඟේ අශ්ව රථ පවා ධාවනය වුණා කියල කියනවා. අපි සිතියමක් අධ්‍යයනය කරල උමං මාර්ගය වැටී තිබෙන්නට ඇති කියන භූමිය නිරීක්‍ෂණය කළත් මහියංගණයේ ඉඳල රත්තොට හරහා ලග්ගලට ඒ උමං මාර්ගය වැටී තිබුණා කියන එක පිළිබඳ උපකල්පනයකට ඒම සාමාන්‍යයෙන් නිවැරැදියි. පස්සේ කාලෙක උමං මාර්ග ජල මාර්ග නැත්නම් ජල දුර්ග වුණා. ඒ කියන්නේ එකිනෙකට සම්බන්ධ උමං මාර්ග ජල මාර්ග වුණාට පස්සේ මේ පොළොවේ මූලික සැකැස්ම විනාශ වුණා. ඒ විනාශයේ තරම පොළොව මතුපිටට නාවේ යක්ඛ රැහේ අය දක්‍ෂ ගල් වඩුවෝ නිසා. ඒ කියන්නේ කළුගල් පුළුන් ගොඩක් කරන්න පුළුවන් තාක්‍ෂණික දැනුම ඒ අය ගාව තිබුණා. පූර්ව මෙගලිතික යුගයේදී ඒ වගේ තාක්‍ෂණයක් කියන්නේ විස්මයක්. උමං ගොඩක් නිර්මාණය වුණේ මහ කළු ගල් හාරාගෙන ගිහින්. ඒකයි අදට වුණත් උමං පද්ධතිය ජල පද්ධතියක් වුණ තරමටම හානිය පොළොව මතු පිටට එන්නෙ නැත්තේ. හැබැයි දැක්ක හොඳ හොඳ වැහි දෙක තුනක් වහිද්දි උමං පද්ධතියේ හතර කොන යා වෙලා තිබ්බ මාතලේ දිස්ත්‍රික්කයට වුණ දේ. මාතලේ දිස්ත්‍රික්කයට උමංවල හතර කොන යාවෙලා තියෙනවා කියල මම විශ්වාස කරන්නේ ඒකට ඇස් පනාපිටම තියෙන සාක්‍ෂිය වන සීගිරිය නිසා. ඇඹිල්ල විහාරයේ ඉඳල සීගිරියට තිබුණ උමං මාර්ගය දැනට අවුරුදු 25 කට විතර කලින් මතු වුණා. ඒ ආරංචියට මමත් ඒක බලන්න ගියා. මහවැලිය කඩිනම් නොකළා නම් අපට මේ උමං පද්ධතිය එකපාරම වතුරට භාර දෙන්න නොතිබුණා. මොකද වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, කොත්මලේ වගේ මහ ජලාශවල වතුර එකපාර මේ උමං පද්ධතිය විනාශ කළේ මහවැලි ව්‍යාපාරය කඩිනම් වුණ හින්දා.

උමං පද්ධතියත් එක්ක අවියෝජනීයව තිබුණ අනිත් කාරණය තමයි දියුණු නගර නිර්මාණය. යක්‍ෂ ගෝත්‍රිකයන් දියුණු නගර නිර්මාණය කළා. සීගිරිය තමයි ඒකට තියෙන හොඳම උදාහරණය. මේ නගර ඒ කාලයේ හැඳින්වුණේ ගිරි දිවයින් කියලා. ඒ කියන්නේ පර්වතයක් නැත්නම් කන්දක් උඩ නිර්මාණය වුණ නගරය කියන එක. එතන බලන්න. එතන අදහස් දෙකක් තියෙනවා. උමං පද්ධතිය සහ ගුවන් පද්ධතිය එක විදියට ප්‍රයෝජනයට ගන්න පුළුවන් ගිරි නගරයකදී විතරයි.

බුද්ධ වර්ෂවල ඉඳලා ඉතිහාසය අපි පටන් ගත්තොත් යක්ෂ-නාග ගෝත්‍රිකයන්ගේ සිවිල් යුද්ධයේ සාම පහසුකම් සපයන්නා විදියට ක්‍රියා කළ බුදුන් වහන්සේ යක්ඛ ගෝත්‍රිකයෝ ඉල්ලා හිටපු සුබ්බ දක්ඛන දිසානාගය යක්ඛ රැහැට ලබා දුන්නා කියලා සඳහන් වෙනවා. ඒ වෙද්දි ලංකාවේ භූ විසමතාව කොයි විදියට තිබුණද කියලා අදහසක් මට නැහැ. ඒ වුණත් ඒ සාම විසඳුමෙන් යක්ඛ රැහේට ලැබුණ ගිරි දිවයින ගැන සඳහනක් තිබෙනවා.

"රම්මෙ තදා රත්නදීප වරම්හි ලංකා ලෝකාභිධාන-හරණ්ඩක යක්ඛදාසෙ

ඕදුම්බරෙ සුමන කූටක-තණ්ඩුලේ‍යා

සෙලෙසු මාරගිරි මිස්සක රිට්ඨ නාමෙ"

"යෙඤ්ඤෙපි සන්ති ගිරයො වන රාමණේ‍යා

ගඕගානදී ගරිගුහා සිකතා තලාච

තත්ථා වසන්ති රහසා වරුනා තිරුද්දා

පාණාතාපත නිරතා සඨකූට යක්ඛා"

මේ පාලි භාෂාවේ සිංහල තේරුමට අනුව ලග්ගල, ලොග්ගල, හිරිකඩ, යක්දෙස්සාගල, සිබුලාගල, ශ්‍රී පාදය, කුරගල, මාරගිරිය, මිහන්තලේ, රිටිගල කියන ස්ථානවල මේ ගිරි දිවයින් තිබී තිබෙනවා.

දැන් අපි ඉන්න ලග්ගල ගැන තමයි මේ කියවෙන්නේ. ගිරි ලංකා පබ්බත කියන්නේ ලග්ගලට. ඇත්ත වශයෙන්ම යක්ඛ ගෝත්‍රිකයන්ගේ අගනගරය තමයි ලග්ගල. ඓතිහාසිකව පුරාවිද්‍යාත්මක සාධක ඒ අගනගරය ගැන නැහැ. ඒ වුණත් මේ රිවස්ටන් කඳු පන්තියට ඒ කඳු පන්තියේ පිහිටීමම ඒ අගනගරයට සාක්ෂියක් කියලයි මම විශ්වාස කරන්නේ.

ලොග්ගල කියන්නේ පස්සර ඉඳලා මහවැලි ගඟ ගලා බහින ලොග්ගල් ඔයේ ජල පෝෂක ප්‍රදේශයට. ලොකගල්ල කියලත් මේ ප්‍රදේශයේ තියෙන කඳු පන්තිවලට කියනවා. කෙහොමත් කඳු පන්තියක එක් කන්දක් ගිරි දිවයිනක් විදියට දිගටම පැවැතුණා.

හිරිකඩ කියන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල කඳු පන්තිය. අඩි දහසට වඩා උස කඳු පන්ති 2ක් මේ ප්‍රදේශයේ තියෙනවා. යක්දෙස්සාගලට ඒ කාලේ කිව්වේ 'යක්ඛදුන් ගිර' කියල.

මෙතැනදී ලග්ගලට වඩා වැදගත් වන තැන තමයි ධුමරක්ඛ පබ්බතය. ඒ කියන්නේ දිඹුලාගලට. දුම්බර පබ්බත කියලත් දිඹුලාගලට කියනවා. දිඹුලාගල ගලේ උස අඩි 1753ක්. මම කලින් කිව්ව විදියට රාමායණයේ සඳහන් වෙන 'සුමාලි' රකුන් රජුගේ පුත්‍ර ධුමරාක්ෂගේ ගිරි දිවයින තමයි දිඹුලාගල කියන්නේ.

සුමාලි රජු තමයි රාවණ රජුගේ සීයා. ධූමරාක්ෂ රාවණ රජුගේ මාමා. රාවණ රජු ඉන්දියාවේ දේව වංසිකයෝ එක්ක සටනට එළැඹියාට පස්සේ සුමාලි මහ රජුයි, බුමරාක්ෂයි දෙන්නම ඒ සටන්වලට සහභාගි වෙලා තියෙනවා. ධූමරක්ෂ තමන්ගේ බෑනා වූ රාවණ මහ රජුට පක්ෂපාතී කෙනෙක්. අවසන් යුද්ධයේදී එක් සේනාංකයක් භාර සෙනෙවියෙක් විදියට 'ධූමරාක්ෂ' සටන මෙහෙයවල තියෙනව. අවසන් සටනේදී මුලින්ම මියයන්නේ මේ ධූමරාක්ෂ.

සමන්ත කූට නැත්නම් ශ්‍රී පාදයත් තව එක් ගිරි දිවයිනක්. කඳු පන්තියේ උසම කන්ද තමයි ශ්‍රී පාදය. එහි උස අඩි 7,360ක්. බුදුන් වහන්සේ තම ශ්‍රී පතුල මෙම ස්ථානයේ තබා ගියා කියලා මහාවංසය කිව්වත් මහා වංසයට වඩා සියවස් එකහමාරක් පමණ පැරැණි දීපවංසයේ ඒ විදියේ වාර්තාකරණයක් දක්නට ලැබෙන්නේ නැහැ. වැඩි වශයෙන් ජනප්‍රවාදයේ එන්නේ සමන්තකූටය ගිරි දිවයිනක් විදියට පැවතුණා කියන එක විතරයි. කුරගල පර්වතයත් හෙළ ඉතිහාසය තුළ ගිරි දිවයිනක්. සබරගමු දිස්ත්‍රික්කයේ හරි මැද්දෑවේ තමයි කුරගල පර්වතය තියෙන්නේ. මේ කුරගල පර්වතය පාමුල තමයි කල්තොට වෙල්යාය තියෙන්නේ. මොනරාගල කඳු වැටියේ ප්‍රධාන කන්ද විදියට සඳහන් කළ හැකි මග්ගල නිගේ‍රා්ධමාරගල්ල වීදියත් හෙළ ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒකත් ඒ කාලයේ ගිරි දිවයිනක්.

චේතිය පබ්බත විහාර කියලා පාලියෙන් කියවෙන මිහින්තලය අඩි 1014ක් උසයි. සෙස්ගිරි, සෑගිරි කියලත් මිහින්තලයට භාවිත කරනවා. මහින්දාගමනයට පෙර මිහින්තලයත් ගිරි දිවයිනක්.

අරිට්ඨ පබ්බත ඒ කියන්නේ රිටිගල අඩි 1817ක් උස කඳු මුදුනක්. අරිෂ්ට පර්වත කියලා මහා භාරතයේ හැඳින්වෙන්නේ රිටිගලට. සීතා පැහැර ගැනීමට ලක්වූවාට පසු (දේශපාලනික ප්‍රශ්නයක් මුල්කරගෙන) සීතා පිළිබඳ රාමාට වාර්තාවක් ලබා දෙන්න ආපු හනුමා කියන සෙනෙවියා ආපසු ඉන්දියාවට යන ගමනේදී රිටිගලට ගිහින් ඒ හරහා ත්‍රිකුණාමලය නැතිනම් ගෝකර්ණයට ගියා කියලා සඳහන්. ඒ විදියට ගත්තොත් ස්වාභාවික වරායක් ලෙස ත්‍රිකුණාමලය ඒ කාලයේදීත් පාවිච්චි වුණා.

ගිරි දිවයින් යා වුණ උමං මාර්ග පද්ධතිය මුලින්ම අවහිර වුණේ රාම-රාවණ යුද්ධයේදී. භූ දේශපාලනික සටනකදී යුද්ධය මර්මස්ථාන විනාශ කරන එක උපක්‍රමයක්. ඒත් ඇත්ත කතාව රාවණ රජු ඒ උමං මාර්ග ප්‍රසිද්ධ නොකර භාවිත කළ නිසා වැඩි වශයෙන් රැකුණ කියන එක. පහු කාලයේදී තමයි උමං මාර්ග පද්ධතිය සම්පූර්ණයෙන් වැහිල ගියේ.

(පුවත්පතක පළවූ ලිපියක් ඇසුරෙනි)

No comments:

Post a Comment