Thursday, April 9, 2015

ජයසේන හෙවත් මහසෝනාගේ උපන්ගම වූ රිටිගල

ශ්‍රී  ලංකාවේ උතුරු දිග තැනිතලා භූමියෙහි පවතින කඳු වළලු අතර අධික උසකින් යුත් කන්දක් වන රිටිගල කන්දට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. මුහුදු මට්ටමේ සිට මීටර් 765ක් උසින් පිහිටා ඇති මෙම රිටිගල කන්ද තවත් පරිවාර කඳු හතක් සහිතව පිහිටා තිබේ. වසර දහස් ගණනක අෑත ඉතිහාසයක් ඇති රිටිගල පුරා විද්‍යාත්මක වශයෙන් මෙන්ම ආගමික වශයෙන්ද වැදගත්කන්දක් බව අතීත මූලාශ්‍ර අධ්‍යයනය කිරීමේදී මනාව ඔප්පු වේ. කඳු හතකින් සමන්විත කඳු පන්තියේ රිටිගල කන්ද පිහිටා ඇත්තේ දක්ෂිණ අන්තයට වන්ටය. ඓතිහාසික බලකොටුවක හැඩය උසුලන රිටිගල කන්ද විශාල ගල් යොදන ලද පවුරු බැම්මකින් වටවී ඇති අතර එයට නැඟෙනහිර දිශාවට වීමට තවත් කඳු පන්ති 3ක් දක්නට ලැබේ.

ඓතිහාසික රිටිගල කන්දට එම නාමය පටබැඳී ඇති ආකාරය පිළිබඳ විමසීමේදී එය තහවුරු කෙරෙන සාධක රැසක් පවතී. සුප්‍රකට අභිලේඛනඥයකු වූ ඩී.එම්. ද ඉසෙඩ් වික්‍රමසිංහ මහතා පවසන පරිදි ‘රිටිගල’ යනු ‘ආරක්ෂා ගල’ යන්නයි.

පාලි භාෂාවේ ‘අරිට්ඨ’ යන වදනින් බිඳී ආ වදනක් ලෙස ‘රිටි’ යන වදන ඔහු හඳුන්වන අතර ඔහුගේ මූලාශ්‍රවලට අනුව රිටිගල යනු ආරක්ෂක ගල යන්නයි. සිංහල මහාවංසය සහ චූලවංසය යන මූලාශ්‍රවල ‘අරිට්ඨ පබ්බත’ යනුවෙන් රිටිගල හඳුන්වා ඇත. අරිට්ඨ යනු පෙරකී ලෙසම ආරක්ෂා යන අදහසයි. පබ්බත යනු ගලයි. ඒ අනුව මහාවංසයේ ඉගැන්වීම අනුව වික්‍රමසිංහ මහතාගේ නිර්වචනයද නිවැරැදි බව විද්‍යාර්ථින්ගේ මතය වී තිබේ. දිගු රිටක හැඩය ගත් කන්දක් බැවින් මෙය රිටිගල ලෙස ව්‍යවහාර කළ බවද එක් මතයකි. අරිට්ඨ යන වදනින් ‘භයංකාර’ යන තේරුමද විද්‍යමාන වන බව පවසන ගවේෂකයෝ මෙය ‘භයංකාර කන්ද’ ලෙසද මත පළ කරති. කෙසේ වෙතත් අරිට්ඨ පබ්බත හෙවත් රිටිගල කන්දට එම නාමය පටබැඳීමේ ඓතිහාසික කතා පුවත ක්‍රිස්තු පූර්ව 207-247 යන කාල සීමාව දක්වා දිවෙයි.

බුදු දහම ශ්‍රී  ලංකාවට හඳුන්වා දෙන අවධියේ මෙරට රජකම් කළ දේවානම්පිය තිස්ස නිරිඳුන්ගේ ඥාතියකු වූ මහා අරිට්ඨගේ නාමයෙන් මෙම කන්ද නම්කළ බව එම කතා පුවතයි.

කෙසේ වෙතත් වසර දහස් ගණනක් නිසොල්මන්ව පැවැති රිටිගල කන්දේ අතීත පුරාවෘත්තය ලොවට හෙළිවන්නේ රජයේ මිනින්දෝරු නිලධාරියකු වූ ජේම්ස් මැන්ටල් මහතා වර්ෂ 1872දී රිටිගල කන්ද තරණය කිරීමත් සමඟය. පසුව නැවතත් වර්ෂ 1889දී සී.ඒ. මරේ නමැති උප දිසාපතිවරයකු රිටිගල කන්ද අඩක් තරණය කර ඇති අතර වර්ෂ 1890දී අනුරාධපුරයේ උප දිසාපතිව සේවය කළ ආර්.ඩබ්ලිව්. අයිවර්ස් මහතා රිටිගල කන්දේ තැනිතලා භූමියක නිවහනක් ඉදිකොට වාසය කළ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. ඉන් අනතුරුව විවිධ පුද්ගලයෝ රිටිගල කන්ද තරණය කොට නව තොරතුරු ගවේෂණය කිරීම ආරම්භ කළහ.

ශ්‍රී  ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙස සේවය කළ එච්.සී.පී. බෙල් මහතා රිටිගල කන්දේ ඓතිහාසික ගවේෂණ අරඹන්නේ වර්ෂ 1883දීය. රිටිගල කඳු සිරසට දුෂ්කර ගමනක් යමින් බෙල් මහතා රිටිගල සැඟවී පැවැති ඓතිහාසික සිදුවීම් සමුදායක් ලොවට හෙළි කිරීමට සමත් විය. ඒ අනුව රිටිගලට අයත් ආඩියාකන්දේ සෙල්ලිපි දහයක්, හරඹෑහින්න කන්දේ සෙල්ලිපි දෙකක්, කුඩා ආරම් බැද්දහින්නේ සෙල්ලිපි හයක් බෙල් මහතාගේ ගවේෂණ ඇසට හසුවිය. ඉන්පසු නාවුල්පත සෙල්ලිපි හතරක්ද, වේවැල්තැන්නේ සෙල්ලිපි දෙකක්ද, මරක්කල උල්පත සෙල්ලිපි අටක්ද, ගලපිටිගල එක් සෙල්ලිපියක්ද සොයා ගත් බෙල් මහතා ඒ අයුරින් ලෝකයෙන් වසන් වී තිබූ ජාතික උරුමය ලොවට හෙළි කෙළේය. අඛණ්ඩව රිටිගල ආශි්‍රතව සිය ගවේෂණ කටයුතු කරමින් සිටි හෙතෙම රිටිගලට බටහිර බෑවුමට වීමට පිහිටි කුඩා ජලාශ හතරක් සහ සංඝාරාම පොකුණු රැසක්ද අනාවරණය කළේය. වර්ෂ 1893 පුරාවිද්‍යා පාලක වාර්තාවේ සිය රිටිගල ගවේෂණයේ සියලුම තොරතුරු සටහන් කිරීමට බෙල් මහතා සමත් වූ අතර පසුකාලීනව රිටිගල ආශි්‍රතව පර්යේෂණ කරන තෙක් රිටිගල ආශි්‍රතව පැවැති වටිනාම පුරාවිද්‍යා වාර්තාව වූයේද බෙල් මහතාගේ පුරාවිද්‍යා පාලක වාර්තාවයි.
ආරමයක නටබුන්
දේවානම්පිය තිස්ස රජ සමයේ බුදු දහම මෙරටට වැඩම කිරීමත් සමඟම බෞද්ධ භික්ෂුන් වහන්සේ සඳහා විහාර ආරාම බිහිනොවීය. එවකට ලංකාවේ බොහෝ ප්‍රදේශවල භික්ෂුන් වැඩ විසුවේ ලෙන් තුළයි. අනුරාධපුරයේ මිහින්තලයට සමීපව පිහිටුවූ වෙස්සගිරි ගුහා සංකීර්ණය එයට කදිම නිදසුනක් වන අතර රිටිගල කන්දද මෙරට මුල් කාලීනව බිහි වූ ලෙන් සංකීර්ණ සහිත භූමි අතරෙන් ප්‍රධාන ස්ථානයකි. රිටිගල කඳු වැටියෙන් බටහිර දිශාවට වීමට පිහිටි නාමළුව හා නාඋල්පත වැටිවලත්, දකුණු දිශාවට වීමට පිහිටි මරක්කල උල්පොත වැටියේත්, ගිනිකොන දිශාවට වීමට කුඩා අරම්බැද්ද වැටියේත්, නැඟෙනහිර දිශාවට වීමට පිහිටි ආඩියාකන්ද වැටියේත් රිටිගල ගුහා සංකීර්ණය පිහිටා තිබේ. රිටිගල පවතින විශිෂ්ට නිමැවුමක් වන බන්දා පොකුණ නටබුන් ආශි්‍රතව ලෙන් හයක් සහ කරඹේහින්න වැටියේ පිහිටි සුවිසල් පර්වතයේ ලෙන් දෙකක්ද පවතී. අතීතයේ ලාංකේය භික්ෂුන් මෙම ලෙන් තුළ සිය ආගමික වතාවත් කළ බවත් රිටිගල ආශි්‍රතව පවතින ලෙන් තුළ උන්වහන්සේ ධ්‍යාන වැඩූ බවත් ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වේ.
බන්දා පොකුණ
කෙසේ වෙතත් රිටිගල කන්දේ අතීත මානවයා ඉදිකළ සුවිශේෂිතම නිර්මාණයක් වන්නේ බන්දා පොකුණයි. හෙක්ටයාර් අටක භූමි භාගයක නිමවා ඇති බන්දා පොකුණ රිටිගල ආරාම කලාපයට මායිම්ව පිහිටා තිබේ. ජල ගැලුම් මිලියන දෙකකට අධික ධාරිතාවක් රැඳෙන පරිදි නිමවා ඇති මෙම සුවිශේෂ නිර්මාණය අතීත මානවයාගේ ඉදිකිරීම් කෞශල්‍යය මනාව විද්‍යමාන කෙරෙන අවස්ථාවක් වේ. දැවැන්ත කළු ගල් පතුරු රඳවා බන්දා පොකුණ  ගොඩනඟා ඇති අතර පොකුණ ඉවුරට වීමට ගල් පඩි පෙළ නිමවා තිබේ. අද වන විට බන්දා පොකුණ නටබුන් තත්ත්වයේ පවතින අතර අතීතයේ කඳු මුදුනතින් ගලා ආ දිය දහරාවන්ගෙන් ඒ සඳහා ජලය පුරවා ඇති බවට සාධක පවතී. කෙසේ වුවද රිටිගල ආශි්‍රතව තවත් විශාල සංඛ්‍යාවක් පොකුණු ඇති බැවින් බන්දා පොකුණ රිටිගල විහාරාරාමයන්හි විසූ භික්ෂුන් සඳහා නොව මෙයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන්ද නිමැවුමක් බව පුරාවිද්‍යාඥයන්ගේ අදහසයි.
පිය ගැට පෙළ

රිටිගල කන්දේ ආරාම සැලැස්ම සුන්දර කරමින් නිමැවූ පෙත්මඟ හෙවත් පටු බිම් තීරය දුටුවන්ගේ සිත් පිනවයි. වනය මැදින් ඉදිරියට විශාල පැතැලි ගල් අල්ලා නිමවා ඇති මෙම පෙත් මඟ ආරාමයට ඇතුළු වීමට පවතින ප්‍රධාන මාර්ගයයි. අතීතයේ රිටිගල ලෙන් තුළ වැඩවාසය කළ භික්ෂුන් මෙම දර්ශනීය වූ පෙත් මඟේ සක්මන් භාවනාව වැඩූ බව ජනප්‍රවාදයේ පවතී. පෙත් මඟ තුළ ඉදිකිරීම් ලක්ෂණද දක්නට ලැබෙන අතර ඒවා මුල් කාලීනව ගොඩනැඟූ ගොඩනැගිලිවල නටබුන් විය හැකි බව පුරාවිද්‍යාත්මක අදහසයි. කෙසේ වෙතත් දියුණු වාස්තු විද්‍යාත්මක ලක්ෂණයන්හි නටබුන් පිරි රිටිගල පෙත් මඟ දෙස් විදෙස් සංචාරකයන්ගේද සිත් ඇද ගැනීමට සමත් වී තිබේ. 
පණ්ඩුකාභය කුමරුන් සිය මාමාවරුන්ගෙන් බේරීම සඳහා චිත්තරාජ සහ කාලවේල යන යක්ෂ ගෝත්‍රිකයන් සොයා ගිය බව මහාවංසයේ සඳහන් වේ. එකී යක්ෂ ගෝත්‍රිකයන් වාසය කළ ස්ථානය රිටිගල කන්ද හෙවත් අරිට්ඨ පබ්බත වන බව මහාවංසය පවසයි. පණ්ඩුකාභය කුමරු වසර හතක් එම යක්ෂ ගෝත්‍රිකයන් හා රිටිගල වාසය කරමින් ඔවුන්ගේ සහයෝගයෙන් සේනාව රැස්කොට මාමාවරුන් සමඟ සටන් වැද ඔවුන් පරදා අනුරාධ නගරය පිහිටුවා තිබේ.

ක්‍රි.පූ. 187 සහ 177 යන කාල වකවානුව තුළ මෙරට රජකම් කළ සූරතිස්ස රජු විසින් රිටිගල කඳු පාමුල මකලන විහාරය හෙවත් මංගල විහාරය  ඉදිකරනු ලැබ ඇත. ඉන්පසු ක්‍රි.පූ. 50-59 අතර කාලය තුළ ලජ්ජිතිස්ස රජු රිටිගල කඳු සිරසේ අරිට්ඨ විහාරය ඉදිකර ඇත. කෙසේ වෙතත් රිටිගල ස්වර්ණමය යුගයක් බිහිකළ නිරිඳකු වන්නේ පළමුවැනි සේන රජුය. චූලවංසයේ සඳහන් වන ආකාරයට පළමුවැනි සේන රජු විසින් ක්‍රි.ව. 831-851 අතර කාල වකවානුව තුළ අරිට්ඨ පර්වතයේ පාංශුකූලික භික්ෂුන් වහන්සේ නමින් ආරාමයක් ඉදිකරනු ලැබ උන් වහන්සේට අවශ්‍ය පහසුකම් ලබාදී සේවක පිරිසක්ද උන්වහන්සේ නමින් යෙදවූ බව සඳහන්වේ.

ඓතිහාසික වැදගත්කම් රාශියකින් සමන්විත රිටිගල කන්ද හා සබැඳි ජනප්‍රවාද රැසක්ද පවතී. ඒ අතර රාමායණ කතා පුවතේ සඳහන් රාවණ නමැති යක්ෂ ගෝත්‍රික රජු භාරතයේ රාම කුමරුන්ගේ බිසව වන සීතා කුමරිය රැගෙන මෙරටට පැමිණියේය. ඉන්පසු සීතා කුමරිය රැගෙන යෑමට ලක්ෂ්මණ කුමරු සහ හනුමන් නමැති වානර ගෝත්‍රිකයකු ලංකාවට පැමිණි අතර සීතා වෙනුවෙන් තියුණු සටනක් සිදුවිය. එහිදී ලක්ෂ්මණ කුමරුට තුවාල වූ අතර වානර ගෝත්‍රික හනුමන් ඔෟෂධ ගෙන ඒමට හිමාල කන්දට යෑමට සැරසුණේය. ඔහු රිටිගල කඳු මුදුනට ගොස් හිමාලයට පැන ගිය බවත්, හනුමන්ට ගෙන ඒමට නියමිත ඔෟෂධ පැළෑටියේ නම අමතකවීම නිසා එහි විශාල ප්‍රදේශයක් ගලවාගෙන පැමිණි බවත්, අවශ්‍ය ඔෟෂධය ලක්ෂ්මණගේ අවශ්‍යතාවට ගෙන අතිරික්තය රිටිගල කඳු වැටියේ තැන්පත් කළ බවත් ජනප්‍රවාදයයි. කෙසේ වෙතත් රිටිගල කන්දේ ලංකාවේ ඉතා දුර්ලභ ඔෟෂධ පැළෑටි රැසක් පවතින අතර දීර්ඝායුෂ ලබා දෙන ‘සන්සෙව්’ නමැති ඔෟෂධයද ඒ තුළ පවතී.

පසුකලකදී මහසෝනා බවට පත්වූ ජයසේන නමැති දක්ෂ සටන්කාමියාද රිටිගල කන්දේ පදිංචිව සිටි පුද්ගලයකු බව ජනප්‍රවාදයයි. ජයසේන යෝධයා රිටිගල කඳු මුදුනේ සිට සෙසු කඳු පන්ති මතට පනිමින් සටන් පුහුණු වූ බවද ජනප්‍රවාදයේ පවතී.

ඓතිහාසික මෙන්ම ආගමික වැදගත්කම් රාශියකින් සමන්විත රිටිගල කන්ද තුළ ලංකාවේ අති දුර්ලභ ඔෟෂධ පැළෑටි මෙන්ම ශාක විශේෂයන්ද පවතින බව උද්භිද විද්‍යාඥයන් සොයාගෙන තිබේ. ශාක විශේෂ 418ක් රිටිගල භූමියේ පවතින බවත්, ඒ අතරෙන් පුෂ්ප හටගන්නා ශාක 338ක් පවතින බවත් උද්භිද විද්‍යාඥයෝ පවසති. ලංකාවට අයත් තෙත් කලාපීය ශාක, වියළි කලාපීය ශාක සහ අන්තර් කලාපීය ශාක යන සෑම දේශගුණයකටම අයත් ශාක රිටිගල කඳු භූමියේ පවතී. සෑම දේශගුණයකටම අයත් ශාක එක් ස්ථානයකින් දැකිය හැකි රිටිගල කන්ද සත්තකින්ම අප ඓතිහාසික, ආගමික, පුරාවිද්‍යාත්මක උරුමයක් සේම සුවිශේෂී ස්වාභාවික උරුමයකි.

වසර දහස් ගණනකට අෑත අතීතයේ හෙළ මානවයාගේ ඉදිකිරීම් ක්ෂේත්‍රය මැනැවින් ලොවට හෙළිකළ රිටිගල කන්දේ අභාග්‍ය සම්පන්න කාලය එළැඹී ඇත්තේ ක්‍රි.ව. 10 වැනි සියවසේ අගභාගයේදීය. එයට හේතුව වන්නේ ඉන්දියාවේ නැඟෙනහිර වෙරළ කලාපයේ සිට මෙරටට පැමිණි චෝලයන් විසින් රිටිගල ආරාම සංකීර්ණය විනාශයට පත්කරනු ලැබීමයි. චෝලයන් රිටිගල ආරාම පද්ධතිය බිමට සමතලා කිරීමෙන් අනතුරුව ක්‍රමක්‍රමයෙන් නටබුන් වී ගිය රිටිගල ගන රූස්ස කැලයක් බවට පත්වූයේ කාලයත් සමඟය. අලි, කොටි, වලසුන් මෙන්ම සර්පයන්ගෙන්ද ගහන වනයක් බවට පත්වූ රිටිගල එදා චෝලයන් විසින් විනාශ නොකරනු ලැබුවේ නම් අපේ මුතුන් මිත්තන්ගේ අතීත ඉදිකිරීම් කුසලතාව අදටද අපට සියැසින් දැකබලා ගැනීමට හැකිවී තිබිණි.

කෙසේ වෙතත් රිටිගල කන්ද සහ ඒ අවට පවතින ඓතිහාසික, ආගමික, පුරාවිද්‍යාත්මක සහ ජෛව විවිධත්ව වටිනාකම හේතුවෙන් වර්ෂ 1931 පෙබරවාරි මස 25 වැනිදා මෙම උතුම් භූමිය රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි