ඉංග්රීසීන් මෙරට යටත් කරගත් 1815 වැනි වකවානුවක මෙරට වනගහනය රටේ භූමි ප්රමාණයෙන් 85% ක් තරම් පැවැති බවත්, එවක අප රටේ වනාන්තර තුළ අලි - ඇතුන් 15000 ක් පමණ දෙනා දිවි ගෙවූ බවත්, වාර්තාවල දැක්වේ. රට බ්රිතාන්යයේ කිරීටය යටතට පත්වීමත් සමඟ ශ්රී ලංකාවේ මාර්ග පද්ධතිය සැකසීම, මිණුම් කටයුතු සිදුකිරීම, වාණිජ වැවිලි ඇතිකිරීම වැනි කටයුතු සඳහා ඉංග්රීසි හමුදාව යොදවන ලදී. ඉංග්රීසි තුවක්කු හමුදාවකට රට භාර කිරීමත් සමඟ අතිවිශාල ප්‍රමාණයක් වන සතුන් ඝාතනය කිරීම ඇරඹුණු බව බොහෝ ඉංග්රීසි ලේඛකයන්ගේ පොත්පත් සාක්ෂි දරයි. ඒ අතර අලි ඇතුන් ඝාතනය කිරීම ප්රමුඛම කාර්යය වී ඇත. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී මෙරට මාර්ග, පාලම්. දුම්රිය මාර්ග, වාරිමාර්ග තැනීමේ පුරෝගාමියා වූද, මැණුම් කටයුතුවල ආරම්භකයා වූද, මේජර් තෝමස් ස්කිනර් ඔහුගේ "ලංකාවේ පනස් වසරක්" (Fifty
years in Ceylon) ග්රන්ථයේ මේ බව ඉතා හොඳින් සටහන් කර තිබේ. නාවික හමුදාවේ නිලධාරියකු වූ ඔහුගේ පියා සමඟ 1818 දී වයස අවුරුදු 14 ක කොලු ගැටයකු සේ ත්රිකුණාමලයට පැමිණි තෝමස් ස්කිනර් යුද හමුදා නිලධාරියකු (ලුතිනන්) බවට පත්වන්නේ වයස අවුරුදු 15 කදීය. එම වසරේදීම (1819) ඔහු තම සත්ත්ව ඝාතනය ලෙස දැවැන්ත දළ අතකු මරා දමන්නේ කොළඹ - අඹේපුස්ස මාර්ගයේදීය. එතැන් පටන් ඔහු මෙරටින් නික්ම ගිය පනස් වසරක් තුළ අලි - ඇතුන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කළ බව ස්වයං පාපොච්චාරණයක් කරමින් ඔහුගේ ග්රන්ථයේම සඳහන් කර ඇත. මාර්ග පද්ධතිය ආරම්භ කරන මොහොතේ එහි සිටි ජ්යෙෂ්ඨතම හා වැදගත්ම නිලධාරියා ඔහු බවට පසක් කරන ස්කිනර් අලින්ගෙන් කරදර එල්ලවන කුමන හෝ තැනකට තමන්ව කැඳවූ බවත් ඒ සෑම තැනකදීම දක්ෂ වෙඩික්කරුවකු ලෙස තමන් අලි ඇතුන් එක් වෙඩිල්ලකින් දෙකකින් මරා බිම හෙලූ බවත්, පවසන්නේ මහා වීරයකු ලෙසිනි.
එකල බ්‍රිතාන්‍ය යටත් විජිත රටවල ක්රීඩාවක් (Game) ලෙස අලි - ඇතුන් ඇතුළු වන සතුන් මරා දැමීම සිදු කළ බවත්, හුදෙක් විනෝදය පිණිස සිදුකරන ලද මෙම කටයුත්ත සඳහා නම් දරා කටයුතු කළ දඩයක්කරුවන් සිටි බවත් මෙවන් ග්රන්ථ කිහිපයක් මගින්ම පෙන්වා දේ. වනසත්ව ගහනය අඩුකිරීම සඳහා මෙසේ දායකවන පුද්ගලයන්ට එකල බ්‍රිතාන්‍ය රජයෙන් තෑගි බෝග හා වරප්රසාද ලබාදුන් බවත් සඳහන් වේ. මෙසේ ලොව වටා ගොස් සත්ත්ව ඝාතනයේ යෙදුණු සුප්රකට චරිතයක් ලෙස සැමුවෙල් බේකර් නමැත්තා සඳහන් කළ හැකිය. කලෙක අප්රිකානු වනාන්තරවල ඇතුන්ට ගිනි බිඳි මේ පුද්ගලයා තම ගෝලබාල සහපිරිවර සමඟ විවිධ වර්ගයේ ගිනි අවි රැගෙන ශ්රී ලංකාවේ වන සත්ත්ව දඩයම් සඳහා පැමිණි බව ඔහු විසින් රචිත "ලංකාවේ ගිනි අවි සහ දඩයම්" (The Rifle
and the Hound in Ceylon) කෘතිය
මගින් පෙන්වා දේ. වසර 9 ක් තිස්සේ අප්රිකාවේ දඩයමේ නිරත වූ ඔහු එහිදී මරා දැමූ වන අලින් පිරිස නොගිනිය හැකි තරම් යෑයි කියයි. එසේම ශ්රී ලංකාවේ වසර 30 ක් ගතකර ඔහු හා ඔහුගේ කණ්ඩායම විසින් මරා දමන ලද අලි - ඇතුන්ගේ සංඛ්යාවද අතිවිශාල සංඛ්‍යාවක් බව කියයි. සැමුවෙල් බේකර් සහ ඔහුගේ සොයුරු ලුතිනන් වී. බේකර්ද හිතේ හැටියට අලි - ඇතුන් මරා දැමූ දෙදෙනෙකි. 1851 නොවැම්බර් 06 වැනිදා තමන් ලංකාවේදී සිදුකළ දඩයම් පිළිබඳව ඔහුගේ ග්රන්ථයේ මෙසේ සඳහන් කර ඇත.
"මා සහභාගි වූ හොඳම දඩකෙළිය මෙයයි. අලි හඹා යැම පැයක පමණ කාලයක් පැවතිණ. ඒ රැළේ අලි 13 දෙනකු සිටි අතර, සෑම අලියෙකුම හඹා ගොස් මරා දැමීමට අපි සමත්වීමු. එක් ඇතින්නකට වෙඩි 15 ක් තැබීමට සිදුවිය. එදින අපි අලි - ඇතුන් 14 දෙනකු දඩයම් කොට තිබිණි. අපි අම්බලමට (මියගිය මේජර් රොජර්ස්ගේ අම්බලම) ආපසු පැමිණියේ ලංකාවේදී දඩයක්කරුවකුට දිනකට දඩයම් කළ හැකි උපරිම අලින් සංඛ්යාව දඩයම් කිරීමෙන් පසුවය.
"සති තුනක් තිස්සේ අලි පනහක්, මුවන් පස් දෙනෙක්, කුළු හරක් දෙදෙනෙක් මා විසින්ද, අලි දහයක්, මුවන් දෙදෙනකු වෝර්ට්ලි විසින්ද (තවත් දඩයක්කරුවෙකි) අලි දහතුන් දෙනකු, කුළු හරක් දෙදෙනකු පෑලිස්සර් විසින්ද (තවත් දඩයක්කරුවෙකි) වී. බේකර් (සොයුරා) අලි දෙදෙනකුද මරා දමා තිබිණි." සැමුවෙල් බේකර් සඳහන් කරයි. මෙවන් අපරාධ රැසකට සහභාගි වූ සැමුවෙල් බේකර් කඳුකර තෙත් කලාපයට අයත් හෝර්ටන් තැන්නේද කලක් දඩයමේ නිරතව සිටි අයෙකි. ඔහු මෙහිදී අති විශාල සංඛ්‍යාවක් ගෝනුන් දඩයම් කර තිබේ. එක් අවස්ථාවකදී එහි පවතින දර්ශනීය දියඇල්ලෙන් පහළට ඇද වැටෙන සේ හෙතෙම ගෝනෙකුට වෙඩි තබා තිබේ. මෙම ඇල්ල පසුව බේකර්ස් ඇල්ල නමින් මේ සත්ත්ව ඝාතකයාගේ නමින්ම නම්කර ඇති අතර අද දක්වාත් එය එසේම හැඳින්වීම අප කෙතරම් දීන ජාතියක් දැයි ලොවටම හඬ ගා කියයි.
මෙහි තැනෙක දැක්වෙන මේජර් රොජර්ස් නමැත්තාද අලි දඩයමේ කෙළ පැමිණියෙකු සේ සැලකේ. ඔහුද අප්රිකාවේ සහ ශ්රී ලංකාවේ අලි - ඇතුන් දඩයමේ නිරතව සිටි ප්රකට පෙළේ පුද්ගලයෙකි. ඔහුගේ ගිනි අවියෙන් ආසියානු - අප්රිකානු අලි 1500 දෙනකුට වැඩි පිරිසක් ඝාතනයට ලක්වූ බව පිළිගැනීමයි. ලංකාවේදී හිතේ හැටියට අලි ඝාතනය කළ ඔහු, අලි - ඇතුන් මරා දැමීමේ ඉහළම වාර්තාව තැබූ දඩයක්කරු සේ ප්රකටය. එහෙත් හදිසියේ ආ හෙණ ගෙඩියක් වැදී ඔහු ජීවිතයෙන් සමුගත්තේ සොබා දහම කෙතරම් සාධාරණ හා විශ්මයජනකද යන්න ලොවට පසක් කරමිනි. මේජර් රොජර්ස්ගේ සිරුර නුවරඑළියට ගෙනවිත් නගර මධ්යයේ එක් (හෝටලයක් ඇති) තැනෙක සුසානයක් තනවා තැන්පත් කළ නමුත් අවස්ථා කිහිපයකදී ඔහුගේ සොහොනටත් හෙණ ගෙඩි පහත් වී සොහොන සී සී කඩ විනාශවී ගියේ අලි ඝාතන මෙන්ම අලි සොරකම් ගැනද වර්තමාන කොයි කාටත් පාඩමක් බවට පත්කරලමිනි.
කැප්ටන් ගැල්වේ, කර්නල් ලින්ඩ්සේ, ලුතිනන් හොලිඔක් යනාදීන් ද ඉංග්රීසි පාලන සමයේදී වන අලි ඇතුන් සිය ගණන් මරා දැමූ පුද්ගලයන් ලෙස සැලකේ. කැප්ටන් ගැල්වේ පමණක් මෙසේ අලි - ඇතුන් 700 ක් දෙනා මරා දැමූ බවට වාර්තා ඇත. තවද වතුකර සුද්දන්ගේ දඩ කෙළි බිමක් බවට පත්ව තිබූ යාල, විල්පත්තුව හා හෝර්ටන්තැන්නේදී වන සතුන් දහස් ගණනක් මරා දැමුණු අතර, මෑතක් වනතුරුම හෝර්ටන්තැන්නේ පැවැති ෆාර් ඉන් නම් අවන්හල ඔවුන්ගේ කාබී විනෝද වූ අවන්හල බවට පත්ව තිබිණි. එහි මූලිකත්වය ගෙන කටයුතු කරන ලද්දේ තෝමස් ෆාර් නමැති වතුකාර සුද්දාය. කෙසේ හෝ තම දෙවන පරම්පරාවට දඩයම් පිළිබඳව මාර්ගෝපදේශක ග්රන්ථයක් ලෙස The Rifle and the
hound in Ceylon නම්
කෘතිය ලියන සැමුවෙල් බේකර් එම ග්රන්ථය රචනා කරන ලද 1874 වර්ෂයේදී මෙසේ ද තම ග්රන්ථයේ සටහනක් කර ඇත.
"මීට වසර 20 කට පෙර දඩයම් කිරීම සඳහා රජයෙන් ත්යාග පිරිනැමුවද, අද වන අලින් වන සංරක්ෂණ නීති රීති මගින් ආරක්ෂාකොට තිබේ. එනිසා මාගේ ග්රන්ථය තවදුරටත් ලංකාවේ දඩ කෙළිය සඳහා මාර්ගෝපදේශක පොතක් වශයෙන් සැලකිය නොහැකිය." යන්නයි. ඒ 1938 දී බලපැවැත්වුණු වන සත්ත්ව හා තුරුලතා ආරක්ෂා කිරීමේ ආඥාපනත මගින්ද තවදුරටත් අලි - ඇතුන් ආරක්ෂාකාරී සතුන් කොටසක් ලෙස සැලකුවද විටින් විට අලි - මිනිස් ගැටුම් හා දඩයම් හේතුවෙන් අලි ඇතුන් දඩයම් නීති විරෝධීව සිදුකෙරිණි. මේ දක්වා වසරකට අලි 150 - 200 බැගින් මිය යමින් සිටින අතර ඒවා සියල්ල නීති විරෝධී ඝාතන වේ. එහෙත් මෙවන් තවත් නීති විරෝධී ඝාතනයක් සිදුකරමින් හද සසලවන ආකාරයේ ක්‍රියාවක් ප්‍රසිද්ධියේ සිදු කළ අලි ඝාතකයන් දෙදෙනකු ගැනද අපට අසන්නට ලැබුණේ පනාමුරේ ඇත් රාජා ගැන කතාව කියවන මොහොතේදීය. තම පරපුර අනතුරක පැටලී සිටි මොහොතක පනාමුරේ ඇත්ගාල කඩා බිඳ දමා තිරිසන් සතකු වුවත් තම එඩිතරභාවය ලොවට ප්රදර්ශනය කරමින් මියගිය පනාමුරේ ඇත් රජුට වෙඩි තබන්නට නියම කළ පනාමුරේ ඇත්ගාලේ හිමිකරුව සිටි ෆ්‍රැන්සිස් මොළමුරේ සහ ඇතාට වෙඩි තැබූ නාවික නිලධාරී සෑම් කදීර්¨ගාමර් එම ඝාතකයන් දෙදෙනාය.
උපුටා ගැනීමකි.....