ලාහුගල යනු ලංකාවේ දූෂණය නොවූ ආගමික ස්ථාන අතරින් එක් ප්‍රදේශයකි. මෙහි පවතින "මඟුල් මහා විහාරයට" ලංකාවේ බෞද්ධ සිද්ධස්ථාන අතර සුවිශේෂී තැනක් හිමිවන්නේ එහි ඇති විශිෂ්ට ඉදිකිරීම් නිසාමය. පොතුවිල් සිට කිලෝමීටර් 11ක් හා සියඹලාණ්ඩුව නගරයේ සිට කිලෝමීටර් 22ක් දුරකින් පිහිටා ඇති ලාහුගල මඟුල් මහා විහාරයේ දකුණු හා නැඟෙනහිර දෙසින් සියඹලාණ්ඩුව හා පොතුවිල් මහා මාර්ගය වැටී ඇත.
ටැම්ලිපිය |
මෙම විහාරය සම්පූර්ණ නටබුන්ද සහිතව අක්කර 10,000ක පමණ ප්‍රදේශයක පැතිර පවතී. විහාරය ක්‍රි. ව. 516 - 526 අතර අනුරාධපුරය පාලනය කළ ධාතුසේන රජ සමයේ බලපෑමට හසුවූ බවට සාක්ෂි දක්නට ඇත. එහිදී ධාතුසේන යුගයට අයත් ටැම්ලිපිය විශේෂ වේ. එය දැනට යකඩ ගරාදි වැටකින් ආරක්ෂා කොට ඇත.
පුරාවිද්‍යාත්මක සහ ඉතිහාසගත සාක්‍ෂි සටහන් මත කරුණු විමසීමේ දී මෙම විශේෂ ස්ථානයේ ඉතිහාසය ක්‍රි. පූර්ව යුගය දක්වා දිවෙන බවට සාධක පිරික්ෂීමෙන්, විශ්වාසය තැබිය හැකි වෙයි. එහෙත් දැනට ඇති නෂ්ටාවශේෂ බොහෝමයකින් හෙළි වන්නේ රාජ්‍ය වර්ෂයෙන් පසු යුගයට අයත් සාධක ය.
වංශ කතාවන්ට අනුව රුහුණු මහා විහාරය නමින් වැදගත් පූජනීය ස්ථානයක් ධාතුසේන රජතුමා විසින් කරන ලද බව සඳහන් වෙයි. ලාහුගල මඟුල් මල් විහාරයේ තිබී හමුවූ 14 වැනි සියවසට අයත් යැයි සැලකෙන සෙල් පුවරු ලිපි සහ අවශේෂ පුරාවිද්‍යාත්මක නටබුන් මඟින් ද ඉතා වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකිවී තිබෙ යි.
ඒ අතර බුදු පිළිමය, මන්දිරය, සඳකඩ පහණ, ආශ්‍රම, බෝමළුව, ස්තූපය හා පොකුණු ආදිය වැදගත් වේ. මෙහි සුවිශේෂී නිමැවුම වන්නේ සඳකඩ පහණයි. එහි ඇත්ගොව්වකු සහිත ඇතුන් කැටයම් කොට තිබීමෙන් ලංකාවේ අනෙකුත් සඳකඩ පහණවලට වඩා එය විශේෂත්වයක් දරයි. මෙතෙක් හමු වී ඇති එම ස්වරූපයේ එකම සඳකඩපහණ බව කියැවෙයි. පුද බිමේ ඇති බෝධිඝරය මතවාද රාශියකට තුඩුදුන් විශේෂ ස්මාරකයකි මඟුල් පෝරුව වශයෙන් ජනප්‍රවාදයේ හැඳින්වෙන්නේ මෙයයි. එසේ ඇත්ගොව්වකු සහිත ඇතුන් දැක්වීමේ අරමුණ වන්නේ රටේ ඒකීය බව විදහා දැක්වීම බවට ද මතයක් ඇත. කෙසේ වුවත් අද එම සඳකඩ පහණ වැසි දිය රදා පැවැතීම නිසා අනාරක්ෂිත බවට පත්වී ඇත.
සඳකඩ පහණ |
ඇත්ගොව්වකු සහිත ඇතුන් |
ලාහුගල විහාරයේ බුදුපිළිම කිරිගරුඩවලින් නිමවූවකි. එය කඩාවැටී තිබී පසුව නැවත ගොඩනංවා ඇත. කෙසේ වුවත් අද එහි ශීර්ෂය දක්නට නැත. බුදුපිළිමයේ විශේෂත්වයක් වන්නේ එහි සිවුරේ රැලි සූක්ෂ්මව නිර්මාණය කර තිබීමයි.
මෙම විහාරයේ ඇති ස්තූපය දැනට නටබුන් වී ඇති අතර එහි දැනට උස අඩි 30ක් පමණ වේ. මෙම දාගැබේ පේසා වළලු 3ක් දක්නට ඇති අතර බෝධිඝරයක් තිබූ බවට සලකුණුද ශේෂව පවතී.
විහාරයේ ඇති ස්තූපය |
ශ්‍රී ලංකාවේ දැනට ඉතිරිව ඇති ඓතිහාසික බෝධිඝර අවශේෂයන් හා සැසැඳීමේදී මෙය වෙනස් ආකෘතියකින් නිමවා තිබෙන අතර බෝධීන් වහන්සේ රෝපණය කළ බව සැලකෙන මුල්ම මළුව ලෙස හඳුන්වන්නේ මෙයයි. සමස්ත බෝධිඝරයම පද්මාකාර ආකෘතියකින් නිමකර ඇත. මෙහි ඇති ඉතා ආකර්ෂණීය සොඳුරු නිර්මාණය නිසාම මේ මත ගොඩනැගී ඇති මඟුල් පෝරුව හා සබැඳි ජනප්‍රවාදය විශ්වාසය හා සත්‍ය මත තවමත් දෝලනය වෙමින් පවතියි
මෙම විහාරයේ ඇති ගල්කණු අනුරාධපුර ලෝවාමහාපායටද සමානකමකින් යුක්තය. මීට අමතරව විහාරය වටා විශාල ගල්වැටියක් නිර්මාණය කර ඇත. එය පිටතින් පැමිණෙතැයි අපේක්ෂා කළ සතුරු ආක්‍රමණයකට හෝ අලි ඇතුන්ගේ පහරදීම් වැළැක්වීමට ඉදිකළ බලකොටුවක් ලෙස සැලකේ. එහි ඇති එක් කළුගලක් අඩි 3ක් පළල හා අඩි 4ක් දිගින් යුක්තය.
මඟුල් මහා විහාරයේ එකිනෙකට වෙනස් මුරගල් රැසක් පවතින අතර එහි දේවතා හා බහිරව රුවැති කැටයම් නෙළා ඇත.
මුරගල් |
ක්‍රි. ව. 2වැනි සියවසේ කාවන්තිස්ස රජු කරවන ලද්දක් වන ලාහුගල මඟුල් මහා විහාරයේ පවතින විශේෂ චතුරස්‍රාකාර හැඩයකින් වටවූ මධ්‍යය වෘත්තාකාර වන ශිලාමය ඉදිකිරීම, කාවන්තිස්ස රජු හා විහාර මහා දේවිය විවාහ වූ පෝරුව බවට ද මතයක් පවති.
බොදු උරුමයක අනන්‍යතාවය යටතේ රාජ වංශ කතාවට චමත්කාරයක් එක්කළ ලාහුගල මඟුල් මහා විහාර සංකීර්ණයේ තවත් ඉතිහාසගත තොරතුරු රාශියක් තවමත් රහස් වශයෙන් මේ විසිරුණු පස්ගොඩැලි යට සඟවා ගෙන සිටිනවා විය හැක. මඟුල් මහා විහාරයේ නියම මංගල්‍යය සිදුවන්නේ කටු කොහොල් හැර එම රහස් ගබඩාවේ සියලු දොරගුළු විවර කළ දාට ය.
කාවන්තිස්ස රජු හා විහාර මහා දේවිය විවාහ වූ පෝරුව බවට සැළකෙන ශිලාමය ඉදිකිරීම |
මම ගිහිල්ලා නැති වැදගත් තැනක්. ගවේශකයා ට ස්තූතියි . ( එක අතකට මම ගිහිල්ල නැති වැදගත් තැන් කොච්චර තියෙනවද
ReplyDeleteස්තුතියි ඔබට
ReplyDelete