Showing posts with label ඉතිහාසය හා සහිත්‍ය. Show all posts
Showing posts with label ඉතිහාසය හා සහිත්‍ය. Show all posts

Monday, June 12, 2017

ලක්දිව නාග සංකල්පය


මිනිසා ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන්ම සර්ප උරග ගණයට අයත් නාගයාට වන්දනාමාන කර ඇති බවට පෙර - අප රටවලින් නොයෙක්‌ සාධක හෙළිදරව් වී ඇත. ග්‍රීසිය, මිසරය, චීනය කාම්බෝජය හා අපරදිග රටවල ද ගලින් නිමැවුණු නාගරූප හමුවී ඇත. ඉතා පැරැණි සාධක බැබිලෝනියාවෙන් පෙනෙන්නට තිබේ. නාග වන්දනය ලංකාවෙත් ඉන්දියාවෙත් ත් පැවති බවට තොරතුරු හෙළි වේ. අනෙක්‌ අතට නාග ගෝත්‍රික මනුෂ්‍යයෝ පුරාතනයේ සිටම මේ රටවල වාසය කර ඇත. විද්වත් අරිසෙන් අහුබුදු මහතා පවසන්නේ ලක්‌දිව සිව්හෙළය සැකසී ඇත්තේ යක්‍ෂ, රාක්‍ෂස, නාග හා දේව ගෝත්‍රවලින් බවය. නාග යන වචනයෙහි සංස්‌කෘත භාෂා අර්ථය උරග සර්පයා යනුයි. මහාචාර්ය විල්හෙල්ම් ගයිගර්- චූලවංසයෙහි නාග යනු දිව්‍ය කොට්‌ඨාසයක්‌ ලෙස හඳුන්වා දී තිබේ. මහාවංශය ආදී වංස කතා තොරතුරු අනුව ලංකාවේ මනුෂ්‍ය ගෝත්‍රයක්‌ නාග නමින් විසූ බවට ප්‍රකට වේ. ඈත අතීතයෙහි ලංකාවේ විසූ නාග ගෝත්‍රිකයෝ මැණික්‌ ගල්, මැණික්‌ ආසන, නාවික යාත්‍රා පවා හිමිව සිටි සෞභාග්‍යවත් බලගතු මනුෂ්‍ය කොට්‌ඨාසයක්‌ බව පෙනෙන කරුණකි. ඔව්හු මතිකාර - මැණික්‌ කර්න්තයෙහිද නිරත රාජ්‍ය බලය පවා නතුකරගෙන සිටි බවට බොහෝ සාධක හමුවී ඇත.

මහාභාරතය, රාමායනය වැනි පුරාණ ග්‍රන්ථවලද නාගයන් පිළිබඳ සඳහන් ව ඇත. නිදසුනක්‌ වශයෙන් රාමායනයෙහි හනුමන්තා සීතා දේවිය මුදාගැනීම සඳහා පැමිණෙන්නේ එවක ලංකාවේ පැවති නාගයන්ගේ අගනුවරට බැව් සඳහන් වේ.

ආගමික සාහිත්‍ය තොරතුරු, අපේ වංසකථාවන් වූ දීපවංසය, මහාවංසය, හා ධාතුවංසය, සමන්තගසාදික ආදී අංශවලින්ද, භාරතීය හා ලාංකික ශිලාලේඛණ හා පුරාවිද්‍යාත්මක සාධක පිළිබඳ, ජනශෘති, ජනප්‍රවාද වලින්ද මේ පිළිබඳ තොරතුරු රැසක්‌ එක්‌රැස්‌ කරගැනීමට හැකිවී තිබේ.

බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වී සවක සතියෙහි අජපල් නුගරුක මූලයෙන් නික්‌ම නේරංජනා නදිය අසල මුචලින්ද රුක්‌ඛ මූලයෙහි වැඩ සිටිසේක. එතැන්හිදී ඉතා තදින් වර්ෂා වහින්නට විය. මෙහිදී බුදුන් වහන්සේට වැසි සුළං ආදියෙන් පීඩාවක්‌ ඇති නොවනසේ සත්වරක්‌ තම දරණිය වටකොට හිසමතින් පෙනගොබය සිටින සේ තබා ගනිමින් සත්දවසක්‌ ආරක්‍ෂා සලසාලනු ලැබුවේ මුචලින්ද නම් නාගරාජයාය. ඒ බව බුද්ධ චරිතයෙහි සඳහන් වී ඇත. මහා වංසයට අනුව බුදුන් වහන්සේ ලංකාවට වැඩම කරනු ලැබුවේ වඩුස්‌නාගල (නාගදීපයේ) චූලෝදර හා මහෝදර යන නාගරජුන් දෙදෙනා අතර මිණි පළඟක්‌ පිළිබඳව ඇතිවුණු අරගලය සංසිඳුවා ලීමටය. කැලණියේ මනිඅක්‌ත නාගරජුගේ ආරාධනයෙන් එහි වැඩම කළ බුදුරජාණන්වහන්සේගේ ධර්මය ශ්‍රවණය කළ ජනතාව පෙර අවස්‌ථාවලදී මෙන්ම තිසරණයෙහි පිහිටා පංච සීලය සමාදන් වී ඇත. (ම.ව. 1 පරි.)

විනය පිටකය මහාවග්ග පාලිය (පිටු 51-55) සඳහන් පරිදි බුදුන් වහන්සේ එදින උරුවෙල් කාශ්‍යප සිටින සංකීර්ණය කරා පැමිණි අතර රාත්‍රියෙහි අසපුවේ නවාතැන් ගැනීමට අවශ්‍ය බව විමසා සිටි සේක. උරුවෙල් කාශ්‍යප එයට පිළිතුරු දෙමින් එහි එකම අසපු නිවස්‌න කාමරයක්‌ ඇති බවත්, එතැන්හි භයංකර නාගයෙක්‌ සිටින බැවින් ඒ සඳහා ඉඩදිය නොහැකි බවත් පැවසීය. එහෙත් බුදුන් වහන්සේගේ පෙරැත්තය ඉටු කරදෙමින් එක්‌ රැයකට එහි නැවතීමට ඉඩ ලැබිණි. බුදුහු එහි ඇතුළු වනවාත් සමගම නාරජ බුදු සිරුරට විෂධුම පිටකර හැරියේය. භයංකාර ශබ්ද නැංවීය. බුදුහු නොනවත්වාම මෛත්‍රී සහගත ධුම පිටකර හරිනු ලැබූසේක. එවිට බුදු සිරුර දවාලීම සඳහා ගිනි කඳක්‌ නිකුත් කළවිට, බුදුන්වහන්සේද තම සිරුරින් ගිනිකඳ නංවාලූ සේක. අවසානයේ බුදුහු තම සෘධි ප්‍රාතිහාර්ය බලයෙන් නාගරාජයා මර්දනය කරවා, උගේ විෂ නසා දරණ ගන්වා පාත්‍ර ධාතුවෙහි සිටින අයුරු උරුවෙල් කාශ්‍යපටම පෙන්වාලූ සේක. බුදුන් වහන්සේගේ බලමහිමය සැමතැන්හි පැතිර ගියේය.

තවද, බුදුන් වහන්සේ දිවමන් සමයෙහි, එක්‌තරා නාගයෙක්‌ තමන් ජන්මලාභය ලැබූ නාග යෝනිය කෙරෙහි කලකිරීමට පත්ව සිටියේය. එදවස වැඩවාසය කළ සිල්වත් ශ්‍රවණයන් මෙන් තමන්ටත් මේ නාග යෝනියෙන් මිදී වාසය කරන්න ලැබෙන්නේ නම් යෙහෙකැයි හෙතෙම අදහස්‌ කළේය. අවසනදී ඔහු නාග යෝනියෙන් මිදීමට ස්‌ථිර ලෙස නිගමනය කළේය. නාගයා තම උරග සිරුර මිනිස්‌ සිරුරක්‌ ලෙස පත්කරගෙන භික්‍ෂුව වෙත අවුත් පැවිදි බවද උපසපන් භාවය ද ලැබුවේය. නාග තෙමේ එක්‌තරා භික්‍ෂු නමක්‌ සමග පිටිසර ගමක විහාරයක වාසය කළ අතර, දිනක්‌ මේ සැබෑ මනුෂ්‍ය භික්‍ෂුව අලුයම යාමයෙහි නැඟිට එළිමහන් තැනෙක සක්‌මන් කරන්නට විය. සයනෙහි වැතිර සිටි නාග තෙමේ භික්‍ෂුව කාමරයෙන් ඉවත නික්‌ම ගිය බැව් දැක සැක නැතිව නින්දට විය. සැනකින් හෙතෙම නින්දෙහි වැටුනේය. සැනෙකින් විහාර කාමරය නාගයාගේ සිරුරින් පිරුණේය. හදිසියේම විහාර කාමරයට පිවිසෙන අදහසින් පැමිණි භික්‍ෂුව නාගයාගේ දරණවැල් දැක බියටපත්වී මහහඬින් කෑගැසුවේය. නාග තෙමේ ඒ හඬින් පබිදී ක්‍ෂණයෙන් නාගවේෂයෙන් මිදී පෙර පරිදි සිය අසුනෙහි හිඳ ගත්තේය. මේ ගැන කරුණු විමසූ කල්හි තමා පිළිබඳ සැබෑ තොරතුරු හෙළිකිරීමට භික්‍ෂු වෙස්‌ගත් නාගයාට සිදුවිය. මේ කතාව බුදුන් වහන්සේගේ සනටද ගිය අතර, උන්වහන්සේ මහසඟරුවන මැද නාගයාට දේශනා කරනු ලැබුවේ නාග යෝනියෙන් මිදීමට නම් තුදුස්‌වක, පසොළොස්‌වක, අටවක්‌සඳ පෙහෙවස්‌ රක්‍ෂා කළ යුතු බවය. නිදන විටත් මෙවුස්‌දම්හි යෙදෙන විටත් නාගයාගේ සැබෑ ස්‌වභාවය පහළවන බව බුදුන් වහන්සේ, තිරිසන් සතුන් මහන, උපසපන් නොකළ යුතුයෑයි වදාළහ. එය නීතියක්‌ බවට පත්විය.

මහාවග්ග පාලි - විනය පිටකසය - ප්‍රථම භාගය - වෙළුම 3 - පිටු 11-17)

වරක්‌ මාරදිව්‍ය පුත්‍රයා නාග වේෂයක්‌ මවාගෙන බුදුන් වහන්සේ බිය ගැන්වීමට පැමිණි බව "සප්ප - සූත්‍රය" 4-1-6" අනුව ප්‍රකට වේ. තථාගතයන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවස්‌නයේ වේළුවනාරාමයේ වැඩවාසය කරන කල්හී මහානාගයකුගේ භයංකාර වේසයක්‌ මවාගෙන ගිගිරි හඬින් නාදවන ශබ්දයක්‌ හා විදුලි වේගයෙන් මුඛංයෙන් ඉවතට දිව නික්‌මෙන, ආකාර දක්‌වමින් මාරයා පැමිණ ඇත. මේ නම් මාරයායෑයි බුදුන්වහන්සේ අවබෝධ ඥනය පහළවීමත් සමග හෙතෙම නොපෙනී ගියේය.

"පූජාවලියෙහි" (695-696 පිටු) දැක්‌වෙන පරිදි ධර්මාශෝක රජු බොහෝ පින්දහම් කිරීමෙන් අනතුරුව එතුමානට බුද්ධරූපයක්‌ දැකීමෙහි දැඩි ආශාවක්‌ පහළ වියත. රජතුමා ඒ බව භික්‍ෂූන් වහන්සේ වෙත දැන්වූයෙන් අනතුරුව එතුමන් අබියසට පැමිණ නාග ලෝකයෙහි මහාකාල නම් නාරජු බුද්ධරූපයක්‌ මවා පෙන්වාලූ ආකාර ඓතිහාසික ලේඛනයන්හි සඳහන් වේ.

බුද්ධ කාලීන "ආටානාටි සූත්‍රයෙහි" සඳහන් වන පරිදි නාගයිගම අධිපතිවන්නේ සතරවරම් දෙවියන්ගේ බවය.

නාගයා හා බැඳුණු දේව හා සමාජ සංකල්පයන්ද බහුලය. නාග අවතාරය විෂ්ණු දෙවිඳුන්ගේ අවතාරයකි. එනිසා විෂ්ණු දෙවියනට නාගයා හා බැඳුණු සම්බන්ධයක්‌ ඇත. හින්දු සමය අනුව නාගරූපයට හිමිවන්නේ සුවිශේෂ ස්‌ථානයකි. ශිව දෙවියා නාගාභරණ හෙවත් නාගයන් ආභරණ ලෙස පළඳියි. ශිව දෙවි නාගයනට අධිපතීත්වයද උසුලන්නේය පත්තිනි දෙවඟන උපත ලැබුවේ නයි කඳුලෙනි. ගජබා රජුදවස දක්‍ෂිණ ඉන්දියාවේ මධුරපුර පත්තිනි දේවාලයෙහි පත්තිනි උත්සවයෙන් ගෙනෙන ලද මුල්ම පත්තිනි සළඹ නවගමුවේ (නාගමුවේ) ඉදිකරවු දෙවොලෙහි තැන්පත් කොට පත්තිනි දේව වන්දනා පැවැත්විණි. පත්තිනි දෙවොල නාගස්‌ උයනෙහි පිහිටි අතර නාලොව නාගයන් එය ආරක්‍ෂා කළ බව කියවේ. එනිසා මෙය නාගයන්ගේ රැකවරණ ලැබූ දෙවොලකි. පෘතුගීසි පාලකයන්ගේ ආක්‍රමණයන්ගේ දැඩි ක්‍රියාවන්ගෙන් පත්තිනි සළඹ ඇතුළු පූජ්‍ය භාණ්‌ඩ ආරක්‍ෂා කර දෙනු ලැබුවේ නාලොව නාගයින් යෑයි ජනප්‍රවාදගතව ඇත.

දේවානම්පියතිස්‌ස රජු සමයෙහි රුහුණේ පාලකයා ලෙස කටයුතු කරනු ලැබුවේ යුවරජ මහානාගය. මෙදවස අශෝකාධිරාජයාගේද අනුග්‍රහයෙන් දඹදිව ශ්‍රී මහා බෝධි දක්‍ෂිණ ශාඛාව ලංකාවට වැඩම කරවාගෙන එන අවස්‌ථාවේදී නාගයො, එම බෝධි ශාඛා වහන්සේ නාලොව වෙත වැඩම කරවාගෙන ගොස්‌ සත් දිනක්‌ පූජෝපාහාර සත්කාර පවත්වා ආපසු නාවික යාත්‍රාවට ගෙනවිත් බාරදුන් බව (ම.ව. 19 පරි 18 - 20 ගාථා) සඳහන් වේ.

දන්ත කුමරුන් හා හේමමාලා කුමරිය ශ්‍රී දළදා වහන්සේ ලංකාවට වැඩම කිරීමේදී නාගයන්ගෙන් සිදුවූ බාධා තාවුලිප්ති තොටට පැමිණෙන තෙක්‌ රහත් තෙරුන් වහන්සේගේ පිහිටෙන් අඩාල කිරීමට හැකිවූ බව ඓතිහාසික තොරතුරුවල සඳහන් වේ. එමෙන්ම මුහුද මැදදී නාවික යාත්‍රාව නතර කරවූ නාලොව නාගයෝ සත්දිනක්‌ මුළුල්ලේ කඩුපුල් මදාරා ආදී මල්වලින් පූජා පවත්වමින් වාද්‍ය භාණ්‌ඩ වාදනය කරමින් පූජෝපහාර පවත්වමින් සිටියදී ගුරුළුවෙස්‌ මවාගත් තෙරණුවෝ අහසින් වැඩම කර නාගයන් පලවාහැර දළදා වහන්සේ ලංකාවට වැඩමකිරීමට උපකාරි වූ ආකාරය පිළිබඳ දළදා සිරිතේ (1970 පිටු 31- 34) සඳහන් වන්නේය. මෙවන් තොරතුරු වලින්, මොවුහු දිව්‍ය නාග කොට්‌ඨාසයක්‌වත් දැයි අනුමානයක්‌ පහළ වේ.

ඇතැම් උගතුන් පවසන්නේ මහානාග රජුගේ මව නාග ගෝත්‍රයට අයත් බවත්ය. එමෙන්ම දුටුගැමුණු රජතුමාගේ චරිතාවලිය පිළිබඳ පවත්නා ජනප්‍රවාද රැසකින් අපට පෙනෙන්නේ, අවස්‌ථා කිහිපයකදීම රූමත් නාග කන්‍යාවියන් සිය අණසකට නතුකරගත් බවකි. තම ප්‍රධාන බිසව් තනතුරේ පවා සිටියේ නාග අඟනක්‌ බවටද විවිධ තොරතුරු ඇත. මෙවන් සිද්ධි නිසා පිරිමි නාගයන් අසතුටෙන් සිටිමින්, රජතුමන්ට කරදර පැමිණිවීමටත් පළිගැනීමටත් ක්‍රියා කළ ආකාර අසන්න ලැබේ. දුටුගැමුණු රජතුමා රුවන්වැලිසෑ ධාතු නිධානෝත්සවයට සෝනුත්තර තෙරුන් ලවා නාග ලෝකයෙන් ධාතු වැඩම කරවාගත් බව ජන ව්‍යවහාර ගතව ඇත.

ලංකාවේ රාජාවලියේ රජවරුන් කිහිපදෙනකුම ඉලනාග, සිරිනාග, ඛල්ලාඨනාග, මහාදාඨික මහානාග, මහල්ලක නාග වශයෙන් නාග නාමය භාවිත කොට ඇත. ක්‍රි. ව. 3 වැනි සියවසදී හරිසෙන් විසින් රචිත සමුද්‍රගුප්ත අධිරජුගේ අවනතභාවයට පත්වනු ආර්යාවර්තයෙහි රජුන් ලෙස නාගසේන, නාගදත්ත, ගණපතිනාග, නන්දින් වශයෙන් සඳහන් වේ. එමගින් භාරතීය, "නාග" නාමය භාවිත කළ භාරතීය නාග ගෝත්‍ර පිළිබඳ තොරතුරු හෙළි වේ.

ඉන්දීය රාජවංසයෙහි නාගර්ජුන යන්න දක්‌නා ලැබේ. උතුරු ඉන්දියාවේ නාග ගෝත්‍රිකයන් විශාල වශයෙන් දක්‌නා ලැබෙන බව මජුම්දාර් ඉතිහාසඥයාද පෙන්වාදී ඇත. නයිනතිව් දූපත ලක්‌දිව නාගදීපය ලෙස මහාවංසය අනුව පෙනෙන නමුදු, යාපන අර්ධද්වීපය නාගදීපය වියහැකි බවට මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීහු පෙන්වාදී ඇත. ඒ බව තහවුරු වන්නේ වසභ රජු දවස ඉසිගිරිය අමාත්‍යයා යාපනය අර්ධද්වීපය පාලනය කළ බව වල්ලිපුරම් රන් සන්නස හමුවීමෙන් තොරතුරු අනාවරණය වීමෙනි.

වාරිකර්මාන්ත හා කලා කැටයම් අංශයෙහි නාග බලපෑම

නාගයා ජලයට ආධිපත්‍යයක්‌ උසුලා ඇත. එනිසා ලංකාවේ වැව් අමුණු, සොරොව්, රාජකීය පොකුණු ආදිය ඉදිකරලීමේදී නාගරූපය- නාග මූර්තිය - නාග කැටයම සුවිශේෂී ස්‌ථානයක්‌ හිමිකරගෙන ඇත. නාග සංකේතය ජලය ආශ්‍රිත පෙදෙසෙහි සනිටුහන් කිරීමෙන් සෞභාග්‍ය හා ආරක්‍ෂාව ළඟාවීමට ඉවහල්වන සාධකයක්‌ ලෙස පුරාතනයෙහි සිට සැලකුම් ලබා ඇත. ජලය එක්‌තැන් කරවන ලද වැවෙන් ජලධාරා ඇළමාර්ග මගින් බෙදාහරින්නේ ආහාර නිෂ්පාදනය හා සශ්‍රීකත්වය ලබා දීමේ අපේක්‍ෂාවෙනි. නායකයන්, රජවරුන් මෙකී අපේක්‍ෂා සාක්‍ෂාත් කරගැනීමේ පරමාර්ථයෙන් වැව් කණ්‌ඩියේ, වැව් සොරොව්ව, ඇළ මාර්ග රාජකීය පොකුණු ආශ්‍රිතව "නාගයා" සහිත කැටයම් ආකෘති, පළක සවිකර ඇති බව පෙනෙන්නට තිබේ. නිදසුන් ලෙස මානන්කට්‌ටිය වැව් සොරොව්වේ පෙන සහිත නාග, නාගිනි රූපද, කුට්‌ටම් පොකුණේ පෙන සහිත නාග රූපද, සීගිරිය මහවැව සොරොව්වේ නාග ගල්පුවරුවද,  අග්බෝ රජුගේ මිහින්තලා නාග පොකුණ හා කලුදිය පොකුණ නාග රූපද, මිහින්තලේ සෑගිරියේ නාග සෙන්ඩියම් පොකුණේ නාග ආකෘතියද, ඌරු සිටාන වැව ආශ්‍රිත නාග කැටයමද නිදසුන් ලෙස සඳහන් කළ හැක. මිහින්තල, සෑගිරියේ පොකුණෙහි පෙන පහකින් යුත් නාගයා, නාගලෝකයේ සිට ජලධාරාවක්‌ සමගින් පැමිණි බවට අදහස්‌ කෙරේ. එම පොකුණ නොසිඳෙන ජලධාරාවන්ගෙන් යුත් පොකුණක්‌ ලෙස පතලව ඇත. ලංකාවේ උතුරු මැද පළාතේ මානන්කච්චිය වැව් සොරොව්වේ පෙන හතේ, පසේ නාගරූපද එමෙන්ම පරිවාර නාගිනි රූපද මූර්තිමත් කර ඇති බැව් පෙනේ. තවද ගෙවන්කුලමේ වැව් සොරොව්වෙහි හිස්‌ කීපයක්‌ සහිත නාග කැටයම් මූර්ති හමුවී ඇත. සීගිරිය වැව් සොරොව් සංකීර්ණයෙහිද මේ ආකාරයේම ගල් පුවරු ස්‌ථානගත කොට තිබී හමුවී ඇත.

නාග කලා ශිල්පචාරි හු "නයිදේ" යන ගෞරව නාමයෙන් හඳුන්වා ඇත. මෙකී ශිල්පකලා ශිල්පාචාරීහූ සිරුර මනුෂයකු ලෙසද, හිස නාගයකු ලෙසද දැක්‌වීමට පෙළඹී ඇත. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් මිනිස්‌ නාග රුවෙහි හිස පෙන පහ, හත වශයෙන් නිමාවී ඇති, අතර කඩුපුල් මල, පුන්කලස දැක්‌වීම තුළින් සෞභාග්‍ය ළඟාකරදෙන බව සංකේතවත් කර ඇත.


(පුවත්පතක පළවු ලිපියක් ඇසුරිනි)

Tuesday, September 6, 2016

හිරු එළිය නොවැටෙන ස්ත්‍රීපුර කන්ද මාලිගාවේ සිටිය සීතාට කුෂ්ඨ රෝගයක් හැදෙයි

ලංකා ඉතිහාසයේ සියල්ලටම නටබුන්නෂ්ඨාවශේෂ නැත. බොහෝ දේ ඉතිහාස කතා ඔස්සේ ඇතුළට කිඳා බැස සෙවිය යුතුය. මේ රාවණ කතාව වනාහි එවැනි ඉතිහාස කතාවක් ඔස්සේ දිවෙන්නකි.
රජ සමයට අයත් පැරණි පුස්කොළ පොතින් මතුකොට නව පර්යේෂණ ඔස්සේ මෙය ඉදිරියට ගලයි. විජයගේ ඉතිහාසය පිළිගත් කීප දෙනකුට මෙය රිදුම් කෑ කතාවක් වුණත්, එතැනින් එහා ඉතිහාසය පිළිගන්නා නැණවතුන් මෙය ජාතික කාර්යභාරයක් කොටගත් බව පෙනේ. අවුරුදු 7,500 කට එහා ඉතිහාසයක් ලිවීමේදී ගැටලූ නැත්තේ නොවේ. මහාවංශයේ ලංකා රාජාවලිය විජයගෙන් ඇරඹෙන්නකි. මහාවංශය අවශ් කෙනකුට අරන් බලා කියවන්නට මාර්ග තිබේ. එහෙත් එතැනින් එහා ඉතිහාසය කෙසේ කියවන්නද?

මේ ගමන පල්ලේගම හරහා ගොස් මැද මහනුවරට මෙපිට බිම් කඩකින් යහන්ගල සොයා යෑමටයි. යහන්ගල රාවණා ඉතිහාසය පිළිබඳ කදිම භූගෝලීය සාක්ෂියක්. හෙළ ඉතිහාසයේ සංධිස්ථානයක්. අතරමඟදී හමු වූ පුද්ගලයන් දිගින් දිගටම විමසා සිටියේ සීතා දේවියගේ ආභරණ නිධානය සොයා යනවා දැයි කියා. කෙසේ වෙතත් දිවයිනේ අස්සක් මුල්ලක් නෑර පැතිර තිබූ අනෝරා වර්ෂාව යහන්ගල තරණය කිරීමට තහංචි පනවා තිබුණා.
එකම විකල්පය නැවැත ගල උඩ පැල කරා ගොස් හෙළ ඉතිහාසය රඳාපවත්නා මුඛ පරම්පරාවට පිවිසීම. ඇමැතුමක් දුන් සැණින් රණමුරේගෙදර ගල උඩ දේශකයා ඒ සඳහා කැමැත්ත ප්‍රකාශ කළා. අපගේ මාතෘකාව වර්ෂාව සමඟ ඇදී ගියේ නාය යෑම යන ස්වාභාවික ව්‍යසනය කරා. අප සිටින මාතලේ දිස්ත්‍රික්කයේ ජනයා වර්ෂාව සමඟ පැමිණෙන බාලගිරි දෝෂය වැනි නාය යෑම්වලට දක්වන්නේ අප්‍රමාණ බියක්.

ඇයි නාය යෑම්වලින් මාතලේ දිස්ත්‍රික්කය මෙතරම් බැට කන්නේ ?

භූවිසමතා සිතියම් අධ්‍යයනය මඟින් යම් පිළිතුරක් මේ සඳහා ලබාදිය හැකි වුවද අප කතානායක තෙමේ ඒ සඳහා පිළිතුරු සොයන්නේ හෙළ ඉතිහාසයෙන් නිසා කිසිවක් නොපවසා අසා සිටින්නන් බවට පත්වීමට අපි කැමැත්තක් දැක්වූවා.

රාවණා උත්තමයා යක්ඛ ගෝත්‍රයට අයිති කෙනෙක්. යක්ඛ ගෝත්‍රිකයෙක්. ඒ අයගේ මුල් වාසස්ථාන ඉදිකළේ කඳු වළලුවල ඉහළම ස්ථානවල. තාරකා ශාස්ත්‍රය එහෙම නැත්නම් තමන්ට ජයගන්න කිසිදාක බැරිවේ යැයි සිතපු ස්වාභාවික පරිසරය ජයගන්න තමයි ඒ අය විමාන නිපදෙව්වේ. නමුත් විමාන කියන සංකල්පය ප්‍රායෝගිකව ඒ තරම් ප්‍රයෝජනවත් දෙයක් වුණේ නැහැ. ඒක හරියට පාන් ගෙඩියක් ගේන්න හන්දියේ කඩේට යන්න කාර් එකක් පාවිච්චි කරනවා වගේ වැඩක්. ඒ හින්දා ඒ අය ස්වාභාවික පරිසරයට හානි නොකර දියුණු ප්‍රවාහන පද්ධතියක් මේ පොළොවේ පිහිටෙව්වා. ඒ තමයි උමං ප්‍රවාහනය. රාවණා රජු දවසේ ගොඩබිම් ප්‍රවාහන මාධ්‍ය වුණේ උමං. විමාන කලින් දවසක කිව්ව වගේ ප්‍රයෝජනයට ගත්තේ 'බිමන්'වලට. බිමන් කියන්නේ අහස ප්‍රවාහන මාධ්‍යයක් ලෙස යොදා ගන්නවා කියන එක. එතැනදි 'ගමන්'වලදී වැඩි ප්‍රයෝජන ගත්තේ උමං මාර්ග පද්ධතියෙන්. කෙනෙක් අහයි කෝ දැන් ඒ උමං කියල.

හෙළ ඉතිහාසය කියනවා නුවරඑළියේ තලගල (ලංකාවේ උසම කන්ද) කන්දේ ඉඳල නුවරඑළියේම කිකිළියමාන කන්දටත්, එතැන ඉඳල උෟව පරණගම ඒ කියන්නේ වැලිමඩ හරියේ ස්ත්‍රීපුර කන්ද දක්වාත් උමං මාර්ගයක් තිබිල තියෙනවා. මේ උමං මාර්ගය සීතා දේවිය එක්ක සබැඳි කතාවක්. ඉතිහාසය කියන විදියට ස්ත්‍රීපුර කන්ද කියන්නේ රාවණාගේ අන්ත--පුරය. ඒ කතා අපිට පිළිගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ වුණත් ස්ත්‍රීපුර කන්දේ ඉඳල කුෂ්ඨ රෝගයක් හැදුණා සීතාට. හිරුඑළිය අවැසි නිසා නුවරඑළියේ හග්ගලට ගෙනාවේ ඒ උමං මාර්ගයෙන් කියල කියනවා. එතන උපකල්පන දෙකක් තියනවා. ස්ත්‍රීපුර කන්ද සීමාවේ රාවණාගේ ගිරි නිවෙස ඉරඑළිය නොවැටෙන තැනක්. සාමාන්‍යයෙන් ඉර එළිය නොවැටුණාම සමේ ආසාත්මිකතා ඇති වෙනවා. දෙක උෟව පරණගම ඉඳල සීතා නුවරඑළියට අරගෙන ආපු උමං මාර්ගය. අද තියෙන භූවිසමතාව එක්ක වුණත් වැලිමඩ ඉඳල නුවරඑළියට එන එක අසීරු කටයුත්තක්.

ස්ත්‍රීපුර කන්දේ ඉඳල මහියංගණය හරහා ලග්ගලට තව උමං මාර්ගයක් තිබිල තියෙනවා. ඒ උමඟේ අශ්ව රථ පවා ධාවනය වුණා කියල කියනවා. අපි සිතියමක් අධ්‍යයනය කරල උමං මාර්ගය වැටී තිබෙන්නට ඇති කියන භූමිය නිරීක්‍ෂණය කළත් මහියංගණයේ ඉඳල රත්තොට හරහා ලග්ගලට ඒ උමං මාර්ගය වැටී තිබුණා කියන එක පිළිබඳ උපකල්පනයකට ඒම සාමාන්‍යයෙන් නිවැරැදියි. පස්සේ කාලෙක උමං මාර්ග ජල මාර්ග නැත්නම් ජල දුර්ග වුණා. ඒ කියන්නේ එකිනෙකට සම්බන්ධ උමං මාර්ග ජල මාර්ග වුණාට පස්සේ මේ පොළොවේ මූලික සැකැස්ම විනාශ වුණා. ඒ විනාශයේ තරම පොළොව මතුපිටට නාවේ යක්ඛ රැහේ අය දක්‍ෂ ගල් වඩුවෝ නිසා. ඒ කියන්නේ කළුගල් පුළුන් ගොඩක් කරන්න පුළුවන් තාක්‍ෂණික දැනුම ඒ අය ගාව තිබුණා. පූර්ව මෙගලිතික යුගයේදී ඒ වගේ තාක්‍ෂණයක් කියන්නේ විස්මයක්. උමං ගොඩක් නිර්මාණය වුණේ මහ කළු ගල් හාරාගෙන ගිහින්. ඒකයි අදට වුණත් උමං පද්ධතිය ජල පද්ධතියක් වුණ තරමටම හානිය පොළොව මතු පිටට එන්නෙ නැත්තේ. හැබැයි දැක්ක හොඳ හොඳ වැහි දෙක තුනක් වහිද්දි උමං පද්ධතියේ හතර කොන යා වෙලා තිබ්බ මාතලේ දිස්ත්‍රික්කයට වුණ දේ. මාතලේ දිස්ත්‍රික්කයට උමංවල හතර කොන යාවෙලා තියෙනවා කියල මම විශ්වාස කරන්නේ ඒකට ඇස් පනාපිටම තියෙන සාක්‍ෂිය වන සීගිරිය නිසා. ඇඹිල්ල විහාරයේ ඉඳල සීගිරියට තිබුණ උමං මාර්ගය දැනට අවුරුදු 25 කට විතර කලින් මතු වුණා. ඒ ආරංචියට මමත් ඒක බලන්න ගියා. මහවැලිය කඩිනම් නොකළා නම් අපට මේ උමං පද්ධතිය එකපාරම වතුරට භාර දෙන්න නොතිබුණා. මොකද වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, කොත්මලේ වගේ මහ ජලාශවල වතුර එකපාර මේ උමං පද්ධතිය විනාශ කළේ මහවැලි ව්‍යාපාරය කඩිනම් වුණ හින්දා.

උමං පද්ධතියත් එක්ක අවියෝජනීයව තිබුණ අනිත් කාරණය තමයි දියුණු නගර නිර්මාණය. යක්‍ෂ ගෝත්‍රිකයන් දියුණු නගර නිර්මාණය කළා. සීගිරිය තමයි ඒකට තියෙන හොඳම උදාහරණය. මේ නගර ඒ කාලයේ හැඳින්වුණේ ගිරි දිවයින් කියලා. ඒ කියන්නේ පර්වතයක් නැත්නම් කන්දක් උඩ නිර්මාණය වුණ නගරය කියන එක. එතන බලන්න. එතන අදහස් දෙකක් තියෙනවා. උමං පද්ධතිය සහ ගුවන් පද්ධතිය එක විදියට ප්‍රයෝජනයට ගන්න පුළුවන් ගිරි නගරයකදී විතරයි.

බුද්ධ වර්ෂවල ඉඳලා ඉතිහාසය අපි පටන් ගත්තොත් යක්ෂ-නාග ගෝත්‍රිකයන්ගේ සිවිල් යුද්ධයේ සාම පහසුකම් සපයන්නා විදියට ක්‍රියා කළ බුදුන් වහන්සේ යක්ඛ ගෝත්‍රිකයෝ ඉල්ලා හිටපු සුබ්බ දක්ඛන දිසානාගය යක්ඛ රැහැට ලබා දුන්නා කියලා සඳහන් වෙනවා. ඒ වෙද්දි ලංකාවේ භූ විසමතාව කොයි විදියට තිබුණද කියලා අදහසක් මට නැහැ. ඒ වුණත් ඒ සාම විසඳුමෙන් යක්ඛ රැහේට ලැබුණ ගිරි දිවයින ගැන සඳහනක් තිබෙනවා.

"රම්මෙ තදා රත්නදීප වරම්හි ලංකා ලෝකාභිධාන-හරණ්ඩක යක්ඛදාසෙ

ඕදුම්බරෙ සුමන කූටක-තණ්ඩුලේ‍යා

සෙලෙසු මාරගිරි මිස්සක රිට්ඨ නාමෙ"

"යෙඤ්ඤෙපි සන්ති ගිරයො වන රාමණේ‍යා

ගඕගානදී ගරිගුහා සිකතා තලාච

තත්ථා වසන්ති රහසා වරුනා තිරුද්දා

පාණාතාපත නිරතා සඨකූට යක්ඛා"

මේ පාලි භාෂාවේ සිංහල තේරුමට අනුව ලග්ගල, ලොග්ගල, හිරිකඩ, යක්දෙස්සාගල, සිබුලාගල, ශ්‍රී පාදය, කුරගල, මාරගිරිය, මිහන්තලේ, රිටිගල කියන ස්ථානවල මේ ගිරි දිවයින් තිබී තිබෙනවා.

දැන් අපි ඉන්න ලග්ගල ගැන තමයි මේ කියවෙන්නේ. ගිරි ලංකා පබ්බත කියන්නේ ලග්ගලට. ඇත්ත වශයෙන්ම යක්ඛ ගෝත්‍රිකයන්ගේ අගනගරය තමයි ලග්ගල. ඓතිහාසිකව පුරාවිද්‍යාත්මක සාධක ඒ අගනගරය ගැන නැහැ. ඒ වුණත් මේ රිවස්ටන් කඳු පන්තියට ඒ කඳු පන්තියේ පිහිටීමම ඒ අගනගරයට සාක්ෂියක් කියලයි මම විශ්වාස කරන්නේ.

ලොග්ගල කියන්නේ පස්සර ඉඳලා මහවැලි ගඟ ගලා බහින ලොග්ගල් ඔයේ ජල පෝෂක ප්‍රදේශයට. ලොකගල්ල කියලත් මේ ප්‍රදේශයේ තියෙන කඳු පන්තිවලට කියනවා. කෙහොමත් කඳු පන්තියක එක් කන්දක් ගිරි දිවයිනක් විදියට දිගටම පැවැතුණා.

හිරිකඩ කියන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල කඳු පන්තිය. අඩි දහසට වඩා උස කඳු පන්ති 2ක් මේ ප්‍රදේශයේ තියෙනවා. යක්දෙස්සාගලට ඒ කාලේ කිව්වේ 'යක්ඛදුන් ගිර' කියල.

මෙතැනදී ලග්ගලට වඩා වැදගත් වන තැන තමයි ධුමරක්ඛ පබ්බතය. ඒ කියන්නේ දිඹුලාගලට. දුම්බර පබ්බත කියලත් දිඹුලාගලට කියනවා. දිඹුලාගල ගලේ උස අඩි 1753ක්. මම කලින් කිව්ව විදියට රාමායණයේ සඳහන් වෙන 'සුමාලි' රකුන් රජුගේ පුත්‍ර ධුමරාක්ෂගේ ගිරි දිවයින තමයි දිඹුලාගල කියන්නේ.

සුමාලි රජු තමයි රාවණ රජුගේ සීයා. ධූමරාක්ෂ රාවණ රජුගේ මාමා. රාවණ රජු ඉන්දියාවේ දේව වංසිකයෝ එක්ක සටනට එළැඹියාට පස්සේ සුමාලි මහ රජුයි, බුමරාක්ෂයි දෙන්නම ඒ සටන්වලට සහභාගි වෙලා තියෙනවා. ධූමරක්ෂ තමන්ගේ බෑනා වූ රාවණ මහ රජුට පක්ෂපාතී කෙනෙක්. අවසන් යුද්ධයේදී එක් සේනාංකයක් භාර සෙනෙවියෙක් විදියට 'ධූමරාක්ෂ' සටන මෙහෙයවල තියෙනව. අවසන් සටනේදී මුලින්ම මියයන්නේ මේ ධූමරාක්ෂ.

සමන්ත කූට නැත්නම් ශ්‍රී පාදයත් තව එක් ගිරි දිවයිනක්. කඳු පන්තියේ උසම කන්ද තමයි ශ්‍රී පාදය. එහි උස අඩි 7,360ක්. බුදුන් වහන්සේ තම ශ්‍රී පතුල මෙම ස්ථානයේ තබා ගියා කියලා මහාවංසය කිව්වත් මහා වංසයට වඩා සියවස් එකහමාරක් පමණ පැරැණි දීපවංසයේ ඒ විදියේ වාර්තාකරණයක් දක්නට ලැබෙන්නේ නැහැ. වැඩි වශයෙන් ජනප්‍රවාදයේ එන්නේ සමන්තකූටය ගිරි දිවයිනක් විදියට පැවතුණා කියන එක විතරයි. කුරගල පර්වතයත් හෙළ ඉතිහාසය තුළ ගිරි දිවයිනක්. සබරගමු දිස්ත්‍රික්කයේ හරි මැද්දෑවේ තමයි කුරගල පර්වතය තියෙන්නේ. මේ කුරගල පර්වතය පාමුල තමයි කල්තොට වෙල්යාය තියෙන්නේ. මොනරාගල කඳු වැටියේ ප්‍රධාන කන්ද විදියට සඳහන් කළ හැකි මග්ගල නිගේ‍රා්ධමාරගල්ල වීදියත් හෙළ ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒකත් ඒ කාලයේ ගිරි දිවයිනක්.

චේතිය පබ්බත විහාර කියලා පාලියෙන් කියවෙන මිහින්තලය අඩි 1014ක් උසයි. සෙස්ගිරි, සෑගිරි කියලත් මිහින්තලයට භාවිත කරනවා. මහින්දාගමනයට පෙර මිහින්තලයත් ගිරි දිවයිනක්.

අරිට්ඨ පබ්බත ඒ කියන්නේ රිටිගල අඩි 1817ක් උස කඳු මුදුනක්. අරිෂ්ට පර්වත කියලා මහා භාරතයේ හැඳින්වෙන්නේ රිටිගලට. සීතා පැහැර ගැනීමට ලක්වූවාට පසු (දේශපාලනික ප්‍රශ්නයක් මුල්කරගෙන) සීතා පිළිබඳ රාමාට වාර්තාවක් ලබා දෙන්න ආපු හනුමා කියන සෙනෙවියා ආපසු ඉන්දියාවට යන ගමනේදී රිටිගලට ගිහින් ඒ හරහා ත්‍රිකුණාමලය නැතිනම් ගෝකර්ණයට ගියා කියලා සඳහන්. ඒ විදියට ගත්තොත් ස්වාභාවික වරායක් ලෙස ත්‍රිකුණාමලය ඒ කාලයේදීත් පාවිච්චි වුණා.

ගිරි දිවයින් යා වුණ උමං මාර්ග පද්ධතිය මුලින්ම අවහිර වුණේ රාම-රාවණ යුද්ධයේදී. භූ දේශපාලනික සටනකදී යුද්ධය මර්මස්ථාන විනාශ කරන එක උපක්‍රමයක්. ඒත් ඇත්ත කතාව රාවණ රජු ඒ උමං මාර්ග ප්‍රසිද්ධ නොකර භාවිත කළ නිසා වැඩි වශයෙන් රැකුණ කියන එක. පහු කාලයේදී තමයි උමං මාර්ග පද්ධතිය සම්පූර්ණයෙන් වැහිල ගියේ.

(පුවත්පතක පළවූ ලිපියක් ඇසුරෙනි)

Thursday, April 9, 2015

ජයසේන හෙවත් මහසෝනාගේ උපන්ගම වූ රිටිගල

ශ්‍රී  ලංකාවේ උතුරු දිග තැනිතලා භූමියෙහි පවතින කඳු වළලු අතර අධික උසකින් යුත් කන්දක් වන රිටිගල කන්දට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. මුහුදු මට්ටමේ සිට මීටර් 765ක් උසින් පිහිටා ඇති මෙම රිටිගල කන්ද තවත් පරිවාර කඳු හතක් සහිතව පිහිටා තිබේ. වසර දහස් ගණනක අෑත ඉතිහාසයක් ඇති රිටිගල පුරා විද්‍යාත්මක වශයෙන් මෙන්ම ආගමික වශයෙන්ද වැදගත්කන්දක් බව අතීත මූලාශ්‍ර අධ්‍යයනය කිරීමේදී මනාව ඔප්පු වේ. කඳු හතකින් සමන්විත කඳු පන්තියේ රිටිගල කන්ද පිහිටා ඇත්තේ දක්ෂිණ අන්තයට වන්ටය. ඓතිහාසික බලකොටුවක හැඩය උසුලන රිටිගල කන්ද විශාල ගල් යොදන ලද පවුරු බැම්මකින් වටවී ඇති අතර එයට නැඟෙනහිර දිශාවට වීමට තවත් කඳු පන්ති 3ක් දක්නට ලැබේ.

ඓතිහාසික රිටිගල කන්දට එම නාමය පටබැඳී ඇති ආකාරය පිළිබඳ විමසීමේදී එය තහවුරු කෙරෙන සාධක රැසක් පවතී. සුප්‍රකට අභිලේඛනඥයකු වූ ඩී.එම්. ද ඉසෙඩ් වික්‍රමසිංහ මහතා පවසන පරිදි ‘රිටිගල’ යනු ‘ආරක්ෂා ගල’ යන්නයි.

පාලි භාෂාවේ ‘අරිට්ඨ’ යන වදනින් බිඳී ආ වදනක් ලෙස ‘රිටි’ යන වදන ඔහු හඳුන්වන අතර ඔහුගේ මූලාශ්‍රවලට අනුව රිටිගල යනු ආරක්ෂක ගල යන්නයි. සිංහල මහාවංසය සහ චූලවංසය යන මූලාශ්‍රවල ‘අරිට්ඨ පබ්බත’ යනුවෙන් රිටිගල හඳුන්වා ඇත. අරිට්ඨ යනු පෙරකී ලෙසම ආරක්ෂා යන අදහසයි. පබ්බත යනු ගලයි. ඒ අනුව මහාවංසයේ ඉගැන්වීම අනුව වික්‍රමසිංහ මහතාගේ නිර්වචනයද නිවැරැදි බව විද්‍යාර්ථින්ගේ මතය වී තිබේ. දිගු රිටක හැඩය ගත් කන්දක් බැවින් මෙය රිටිගල ලෙස ව්‍යවහාර කළ බවද එක් මතයකි. අරිට්ඨ යන වදනින් ‘භයංකාර’ යන තේරුමද විද්‍යමාන වන බව පවසන ගවේෂකයෝ මෙය ‘භයංකාර කන්ද’ ලෙසද මත පළ කරති. කෙසේ වෙතත් අරිට්ඨ පබ්බත හෙවත් රිටිගල කන්දට එම නාමය පටබැඳීමේ ඓතිහාසික කතා පුවත ක්‍රිස්තු පූර්ව 207-247 යන කාල සීමාව දක්වා දිවෙයි.

බුදු දහම ශ්‍රී  ලංකාවට හඳුන්වා දෙන අවධියේ මෙරට රජකම් කළ දේවානම්පිය තිස්ස නිරිඳුන්ගේ ඥාතියකු වූ මහා අරිට්ඨගේ නාමයෙන් මෙම කන්ද නම්කළ බව එම කතා පුවතයි.

කෙසේ වෙතත් වසර දහස් ගණනක් නිසොල්මන්ව පැවැති රිටිගල කන්දේ අතීත පුරාවෘත්තය ලොවට හෙළිවන්නේ රජයේ මිනින්දෝරු නිලධාරියකු වූ ජේම්ස් මැන්ටල් මහතා වර්ෂ 1872දී රිටිගල කන්ද තරණය කිරීමත් සමඟය. පසුව නැවතත් වර්ෂ 1889දී සී.ඒ. මරේ නමැති උප දිසාපතිවරයකු රිටිගල කන්ද අඩක් තරණය කර ඇති අතර වර්ෂ 1890දී අනුරාධපුරයේ උප දිසාපතිව සේවය කළ ආර්.ඩබ්ලිව්. අයිවර්ස් මහතා රිටිගල කන්දේ තැනිතලා භූමියක නිවහනක් ඉදිකොට වාසය කළ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. ඉන් අනතුරුව විවිධ පුද්ගලයෝ රිටිගල කන්ද තරණය කොට නව තොරතුරු ගවේෂණය කිරීම ආරම්භ කළහ.

ශ්‍රී  ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙස සේවය කළ එච්.සී.පී. බෙල් මහතා රිටිගල කන්දේ ඓතිහාසික ගවේෂණ අරඹන්නේ වර්ෂ 1883දීය. රිටිගල කඳු සිරසට දුෂ්කර ගමනක් යමින් බෙල් මහතා රිටිගල සැඟවී පැවැති ඓතිහාසික සිදුවීම් සමුදායක් ලොවට හෙළි කිරීමට සමත් විය. ඒ අනුව රිටිගලට අයත් ආඩියාකන්දේ සෙල්ලිපි දහයක්, හරඹෑහින්න කන්දේ සෙල්ලිපි දෙකක්, කුඩා ආරම් බැද්දහින්නේ සෙල්ලිපි හයක් බෙල් මහතාගේ ගවේෂණ ඇසට හසුවිය. ඉන්පසු නාවුල්පත සෙල්ලිපි හතරක්ද, වේවැල්තැන්නේ සෙල්ලිපි දෙකක්ද, මරක්කල උල්පත සෙල්ලිපි අටක්ද, ගලපිටිගල එක් සෙල්ලිපියක්ද සොයා ගත් බෙල් මහතා ඒ අයුරින් ලෝකයෙන් වසන් වී තිබූ ජාතික උරුමය ලොවට හෙළි කෙළේය. අඛණ්ඩව රිටිගල ආශි්‍රතව සිය ගවේෂණ කටයුතු කරමින් සිටි හෙතෙම රිටිගලට බටහිර බෑවුමට වීමට පිහිටි කුඩා ජලාශ හතරක් සහ සංඝාරාම පොකුණු රැසක්ද අනාවරණය කළේය. වර්ෂ 1893 පුරාවිද්‍යා පාලක වාර්තාවේ සිය රිටිගල ගවේෂණයේ සියලුම තොරතුරු සටහන් කිරීමට බෙල් මහතා සමත් වූ අතර පසුකාලීනව රිටිගල ආශි්‍රතව පර්යේෂණ කරන තෙක් රිටිගල ආශි්‍රතව පැවැති වටිනාම පුරාවිද්‍යා වාර්තාව වූයේද බෙල් මහතාගේ පුරාවිද්‍යා පාලක වාර්තාවයි.
ආරමයක නටබුන්
දේවානම්පිය තිස්ස රජ සමයේ බුදු දහම මෙරටට වැඩම කිරීමත් සමඟම බෞද්ධ භික්ෂුන් වහන්සේ සඳහා විහාර ආරාම බිහිනොවීය. එවකට ලංකාවේ බොහෝ ප්‍රදේශවල භික්ෂුන් වැඩ විසුවේ ලෙන් තුළයි. අනුරාධපුරයේ මිහින්තලයට සමීපව පිහිටුවූ වෙස්සගිරි ගුහා සංකීර්ණය එයට කදිම නිදසුනක් වන අතර රිටිගල කන්දද මෙරට මුල් කාලීනව බිහි වූ ලෙන් සංකීර්ණ සහිත භූමි අතරෙන් ප්‍රධාන ස්ථානයකි. රිටිගල කඳු වැටියෙන් බටහිර දිශාවට වීමට පිහිටි නාමළුව හා නාඋල්පත වැටිවලත්, දකුණු දිශාවට වීමට පිහිටි මරක්කල උල්පොත වැටියේත්, ගිනිකොන දිශාවට වීමට කුඩා අරම්බැද්ද වැටියේත්, නැඟෙනහිර දිශාවට වීමට පිහිටි ආඩියාකන්ද වැටියේත් රිටිගල ගුහා සංකීර්ණය පිහිටා තිබේ. රිටිගල පවතින විශිෂ්ට නිමැවුමක් වන බන්දා පොකුණ නටබුන් ආශි්‍රතව ලෙන් හයක් සහ කරඹේහින්න වැටියේ පිහිටි සුවිසල් පර්වතයේ ලෙන් දෙකක්ද පවතී. අතීතයේ ලාංකේය භික්ෂුන් මෙම ලෙන් තුළ සිය ආගමික වතාවත් කළ බවත් රිටිගල ආශි්‍රතව පවතින ලෙන් තුළ උන්වහන්සේ ධ්‍යාන වැඩූ බවත් ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වේ.
බන්දා පොකුණ
කෙසේ වෙතත් රිටිගල කන්දේ අතීත මානවයා ඉදිකළ සුවිශේෂිතම නිර්මාණයක් වන්නේ බන්දා පොකුණයි. හෙක්ටයාර් අටක භූමි භාගයක නිමවා ඇති බන්දා පොකුණ රිටිගල ආරාම කලාපයට මායිම්ව පිහිටා තිබේ. ජල ගැලුම් මිලියන දෙකකට අධික ධාරිතාවක් රැඳෙන පරිදි නිමවා ඇති මෙම සුවිශේෂ නිර්මාණය අතීත මානවයාගේ ඉදිකිරීම් කෞශල්‍යය මනාව විද්‍යමාන කෙරෙන අවස්ථාවක් වේ. දැවැන්ත කළු ගල් පතුරු රඳවා බන්දා පොකුණ  ගොඩනඟා ඇති අතර පොකුණ ඉවුරට වීමට ගල් පඩි පෙළ නිමවා තිබේ. අද වන විට බන්දා පොකුණ නටබුන් තත්ත්වයේ පවතින අතර අතීතයේ කඳු මුදුනතින් ගලා ආ දිය දහරාවන්ගෙන් ඒ සඳහා ජලය පුරවා ඇති බවට සාධක පවතී. කෙසේ වුවද රිටිගල ආශි්‍රතව තවත් විශාල සංඛ්‍යාවක් පොකුණු ඇති බැවින් බන්දා පොකුණ රිටිගල විහාරාරාමයන්හි විසූ භික්ෂුන් සඳහා නොව මෙයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන්ද නිමැවුමක් බව පුරාවිද්‍යාඥයන්ගේ අදහසයි.
පිය ගැට පෙළ

රිටිගල කන්දේ ආරාම සැලැස්ම සුන්දර කරමින් නිමැවූ පෙත්මඟ හෙවත් පටු බිම් තීරය දුටුවන්ගේ සිත් පිනවයි. වනය මැදින් ඉදිරියට විශාල පැතැලි ගල් අල්ලා නිමවා ඇති මෙම පෙත් මඟ ආරාමයට ඇතුළු වීමට පවතින ප්‍රධාන මාර්ගයයි. අතීතයේ රිටිගල ලෙන් තුළ වැඩවාසය කළ භික්ෂුන් මෙම දර්ශනීය වූ පෙත් මඟේ සක්මන් භාවනාව වැඩූ බව ජනප්‍රවාදයේ පවතී. පෙත් මඟ තුළ ඉදිකිරීම් ලක්ෂණද දක්නට ලැබෙන අතර ඒවා මුල් කාලීනව ගොඩනැඟූ ගොඩනැගිලිවල නටබුන් විය හැකි බව පුරාවිද්‍යාත්මක අදහසයි. කෙසේ වෙතත් දියුණු වාස්තු විද්‍යාත්මක ලක්ෂණයන්හි නටබුන් පිරි රිටිගල පෙත් මඟ දෙස් විදෙස් සංචාරකයන්ගේද සිත් ඇද ගැනීමට සමත් වී තිබේ. 
පණ්ඩුකාභය කුමරුන් සිය මාමාවරුන්ගෙන් බේරීම සඳහා චිත්තරාජ සහ කාලවේල යන යක්ෂ ගෝත්‍රිකයන් සොයා ගිය බව මහාවංසයේ සඳහන් වේ. එකී යක්ෂ ගෝත්‍රිකයන් වාසය කළ ස්ථානය රිටිගල කන්ද හෙවත් අරිට්ඨ පබ්බත වන බව මහාවංසය පවසයි. පණ්ඩුකාභය කුමරු වසර හතක් එම යක්ෂ ගෝත්‍රිකයන් හා රිටිගල වාසය කරමින් ඔවුන්ගේ සහයෝගයෙන් සේනාව රැස්කොට මාමාවරුන් සමඟ සටන් වැද ඔවුන් පරදා අනුරාධ නගරය පිහිටුවා තිබේ.

ක්‍රි.පූ. 187 සහ 177 යන කාල වකවානුව තුළ මෙරට රජකම් කළ සූරතිස්ස රජු විසින් රිටිගල කඳු පාමුල මකලන විහාරය හෙවත් මංගල විහාරය  ඉදිකරනු ලැබ ඇත. ඉන්පසු ක්‍රි.පූ. 50-59 අතර කාලය තුළ ලජ්ජිතිස්ස රජු රිටිගල කඳු සිරසේ අරිට්ඨ විහාරය ඉදිකර ඇත. කෙසේ වෙතත් රිටිගල ස්වර්ණමය යුගයක් බිහිකළ නිරිඳකු වන්නේ පළමුවැනි සේන රජුය. චූලවංසයේ සඳහන් වන ආකාරයට පළමුවැනි සේන රජු විසින් ක්‍රි.ව. 831-851 අතර කාල වකවානුව තුළ අරිට්ඨ පර්වතයේ පාංශුකූලික භික්ෂුන් වහන්සේ නමින් ආරාමයක් ඉදිකරනු ලැබ උන් වහන්සේට අවශ්‍ය පහසුකම් ලබාදී සේවක පිරිසක්ද උන්වහන්සේ නමින් යෙදවූ බව සඳහන්වේ.

ඓතිහාසික වැදගත්කම් රාශියකින් සමන්විත රිටිගල කන්ද හා සබැඳි ජනප්‍රවාද රැසක්ද පවතී. ඒ අතර රාමායණ කතා පුවතේ සඳහන් රාවණ නමැති යක්ෂ ගෝත්‍රික රජු භාරතයේ රාම කුමරුන්ගේ බිසව වන සීතා කුමරිය රැගෙන මෙරටට පැමිණියේය. ඉන්පසු සීතා කුමරිය රැගෙන යෑමට ලක්ෂ්මණ කුමරු සහ හනුමන් නමැති වානර ගෝත්‍රිකයකු ලංකාවට පැමිණි අතර සීතා වෙනුවෙන් තියුණු සටනක් සිදුවිය. එහිදී ලක්ෂ්මණ කුමරුට තුවාල වූ අතර වානර ගෝත්‍රික හනුමන් ඔෟෂධ ගෙන ඒමට හිමාල කන්දට යෑමට සැරසුණේය. ඔහු රිටිගල කඳු මුදුනට ගොස් හිමාලයට පැන ගිය බවත්, හනුමන්ට ගෙන ඒමට නියමිත ඔෟෂධ පැළෑටියේ නම අමතකවීම නිසා එහි විශාල ප්‍රදේශයක් ගලවාගෙන පැමිණි බවත්, අවශ්‍ය ඔෟෂධය ලක්ෂ්මණගේ අවශ්‍යතාවට ගෙන අතිරික්තය රිටිගල කඳු වැටියේ තැන්පත් කළ බවත් ජනප්‍රවාදයයි. කෙසේ වෙතත් රිටිගල කන්දේ ලංකාවේ ඉතා දුර්ලභ ඔෟෂධ පැළෑටි රැසක් පවතින අතර දීර්ඝායුෂ ලබා දෙන ‘සන්සෙව්’ නමැති ඔෟෂධයද ඒ තුළ පවතී.

පසුකලකදී මහසෝනා බවට පත්වූ ජයසේන නමැති දක්ෂ සටන්කාමියාද රිටිගල කන්දේ පදිංචිව සිටි පුද්ගලයකු බව ජනප්‍රවාදයයි. ජයසේන යෝධයා රිටිගල කඳු මුදුනේ සිට සෙසු කඳු පන්ති මතට පනිමින් සටන් පුහුණු වූ බවද ජනප්‍රවාදයේ පවතී.

ඓතිහාසික මෙන්ම ආගමික වැදගත්කම් රාශියකින් සමන්විත රිටිගල කන්ද තුළ ලංකාවේ අති දුර්ලභ ඔෟෂධ පැළෑටි මෙන්ම ශාක විශේෂයන්ද පවතින බව උද්භිද විද්‍යාඥයන් සොයාගෙන තිබේ. ශාක විශේෂ 418ක් රිටිගල භූමියේ පවතින බවත්, ඒ අතරෙන් පුෂ්ප හටගන්නා ශාක 338ක් පවතින බවත් උද්භිද විද්‍යාඥයෝ පවසති. ලංකාවට අයත් තෙත් කලාපීය ශාක, වියළි කලාපීය ශාක සහ අන්තර් කලාපීය ශාක යන සෑම දේශගුණයකටම අයත් ශාක රිටිගල කඳු භූමියේ පවතී. සෑම දේශගුණයකටම අයත් ශාක එක් ස්ථානයකින් දැකිය හැකි රිටිගල කන්ද සත්තකින්ම අප ඓතිහාසික, ආගමික, පුරාවිද්‍යාත්මක උරුමයක් සේම සුවිශේෂී ස්වාභාවික උරුමයකි.

වසර දහස් ගණනකට අෑත අතීතයේ හෙළ මානවයාගේ ඉදිකිරීම් ක්ෂේත්‍රය මැනැවින් ලොවට හෙළිකළ රිටිගල කන්දේ අභාග්‍ය සම්පන්න කාලය එළැඹී ඇත්තේ ක්‍රි.ව. 10 වැනි සියවසේ අගභාගයේදීය. එයට හේතුව වන්නේ ඉන්දියාවේ නැඟෙනහිර වෙරළ කලාපයේ සිට මෙරටට පැමිණි චෝලයන් විසින් රිටිගල ආරාම සංකීර්ණය විනාශයට පත්කරනු ලැබීමයි. චෝලයන් රිටිගල ආරාම පද්ධතිය බිමට සමතලා කිරීමෙන් අනතුරුව ක්‍රමක්‍රමයෙන් නටබුන් වී ගිය රිටිගල ගන රූස්ස කැලයක් බවට පත්වූයේ කාලයත් සමඟය. අලි, කොටි, වලසුන් මෙන්ම සර්පයන්ගෙන්ද ගහන වනයක් බවට පත්වූ රිටිගල එදා චෝලයන් විසින් විනාශ නොකරනු ලැබුවේ නම් අපේ මුතුන් මිත්තන්ගේ අතීත ඉදිකිරීම් කුසලතාව අදටද අපට සියැසින් දැකබලා ගැනීමට හැකිවී තිබිණි.

කෙසේ වෙතත් රිටිගල කන්ද සහ ඒ අවට පවතින ඓතිහාසික, ආගමික, පුරාවිද්‍යාත්මක සහ ජෛව විවිධත්ව වටිනාකම හේතුවෙන් වර්ෂ 1931 පෙබරවාරි මස 25 වැනිදා මෙම උතුම් භූමිය රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි

Saturday, April 4, 2015

ඇත්ගොව්වකු සහිත සඳකඩ පහණ ඇති මඟුල් මහා වෙහෙර

ලාහුගල යනු ලංකාවේ දූෂණය නොවූ ආගමික ස්ථාන අතරින් එක් ප්‍රදේශයකි. මෙහි පවතින "මඟුල් මහා විහාරයට" ලංකාවේ බෞද්ධ සිද්ධස්ථාන අතර සුවිශේෂී තැනක් හිමිවන්නේ එහි ඇති විශිෂ්ට ඉදිකිරීම් නිසාමය. පොතුවිල් සිට කිලෝමීටර් 11ක් හා සියඹලාණ්ඩුව නගරයේ සිට කිලෝමීටර් 22ක් දුරකින් පිහිටා ඇති ලාහුගල මඟුල් මහා විහාරයේ දකුණු හා නැඟෙනහිර දෙසින් සියඹලාණ්ඩුව හා පොතුවිල් මහා මාර්ගය වැටී ඇත.


ටැම්ලිපිය


මෙම විහාරය සම්පූර්ණ නටබුන්ද සහිතව අක්කර 10,000ක පමණ ප්‍රදේශයක පැතිර පවතී. විහාරය ක්‍රි. ව. 516 - 526 අතර අනුරාධපුරය පාලනය කළ ධාතුසේන රජ සමයේ බලපෑමට හසුවූ බවට සාක්ෂි දක්නට ඇත. එහිදී ධාතුසේන යුගයට අයත් ටැම්ලිපිය විශේෂ වේ. එය දැනට යකඩ ගරාදි වැටකින් ආරක්ෂා කොට ඇත.

පුරාවිද්‍යාත්මක සහ ඉතිහාසගත සාක්‍ෂි සටහන් මත කරුණු විමසීමේ දී මෙම විශේෂ ස්ථානයේ ඉතිහාසය ක්‍රි. පූර්ව යුගය දක්වා දිවෙන බවට සාධක පිරික්ෂීමෙන්, විශ්වාසය තැබිය හැකි වෙයි. එහෙත් දැනට ඇති නෂ්ටාවශේෂ බොහෝමයකින් හෙළි වන්නේ රාජ්‍ය වර්ෂයෙන් පසු යුගයට අයත් සාධක ය.

වංශ කතාවන්ට අනුව රුහුණු මහා විහාරය නමින් වැදගත් පූජනීය ස්ථානයක් ධාතුසේන රජතුමා විසින් කරන ලද බව සඳහන් වෙයි. ලාහුගල මඟුල් මල් විහාරයේ තිබී හමුවූ 14 වැනි සියවසට අයත් යැයි සැලකෙන සෙල් පුවරු ලිපි සහ අවශේෂ පුරාවිද්‍යාත්මක නටබුන් මඟින් ද ඉතා වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකිවී තිබෙ යි.

ඒ අතර බුදු පිළිමය, මන්දිරය, සඳකඩ පහණ, ආශ්‍රම, බෝමළුව, ස්තූපය හා පොකුණු ආදිය වැදගත් වේ. මෙහි සුවිශේෂී නිමැවුම වන්නේ සඳකඩ පහණයි. එහි ඇත්ගොව්වකු සහිත ඇතුන් කැටයම් කොට තිබීමෙන් ලංකාවේ අනෙකුත් සඳකඩ පහණවලට වඩා එය විශේෂත්වයක් දරයි. මෙතෙක් හමු වී ඇති එම ස්වරූපයේ එකම සඳකඩපහණ බව කියැවෙයි. පුද බිමේ ඇති බෝධිඝරය මතවාද රාශියකට තුඩුදුන් විශේෂ ස්මාරකයකි මඟුල් පෝරුව වශයෙන් ජනප්‍රවාදයේ හැඳින්වෙන්නේ මෙයයි. එසේ ඇත්ගොව්වකු සහිත ඇතුන් දැක්වීමේ අරමුණ වන්නේ රටේ ඒකීය බව විදහා දැක්වීම බවට ද මතයක් ඇත. කෙසේ වුවත් අද එම සඳකඩ පහණ වැසි දිය රදා පැවැතීම නිසා අනාරක්ෂිත බවට පත්වී ඇත.
සඳකඩ පහණ
ඇත්ගොව්වකු සහිත ඇතුන්
ලාහුගල විහාරයේ බුදුපිළිම කිරිගරුඩවලින් නිමවූවකි. එය කඩාවැටී තිබී පසුව නැවත ගොඩනංවා ඇත. කෙසේ වුවත් අද එහි ශීර්ෂය දක්නට නැත. බුදුපිළිමයේ විශේෂත්වයක් වන්නේ එහි සිවුරේ රැලි සූක්ෂ්මව නිර්මාණය කර තිබීමයි.

මෙම විහාරයේ ඇති ස්තූපය දැනට නටබුන් වී ඇති අතර එහි දැනට උස අඩි 30ක් පමණ වේ. මෙම දාගැබේ පේසා වළලු 3ක් දක්නට ඇති අතර බෝධිඝරයක් තිබූ බවට සලකුණුද ශේෂව පවතී.
විහාරයේ ඇති ස්තූපය
ශ්‍රී ලංකාවේ දැනට ඉතිරිව ඇති ඓතිහාසික බෝධිඝර අවශේෂයන් හා සැසැඳීමේදී මෙය වෙනස් ආකෘතියකින් නිමවා තිබෙන අතර බෝධීන් වහන්සේ රෝපණය කළ බව සැලකෙන මුල්ම මළුව ලෙස හඳුන්වන්නේ මෙයයි. සමස්ත බෝධිඝරයම පද්මාකාර ආකෘතියකින් නිමකර ඇත. මෙහි ඇති ඉතා ආකර්ෂණීය සොඳුරු නිර්මාණය නිසාම මේ මත ගොඩනැගී ඇති මඟුල් පෝරුව හා සබැඳි ජනප්‍රවාදය විශ්වාසය හා සත්‍ය මත තවමත් දෝලනය වෙමින් පවතියි

මෙම විහාරයේ ඇති ගල්කණු අනුරාධපුර ලෝවාමහාපායටද සමානකමකින් යුක්තය. මීට අමතරව විහාරය වටා විශාල ගල්වැටියක් නිර්මාණය කර ඇත. එය පිටතින් පැමිණෙතැයි අපේක්ෂා කළ සතුරු ආක්‍රමණයකට හෝ අලි ඇතුන්ගේ පහරදීම් වැළැක්වීමට ඉදිකළ බලකොටුවක් ලෙස සැලකේ. එහි ඇති එක් කළුගලක් අඩි 3ක් පළල හා අඩි 4ක් දිගින් යුක්තය.

මඟුල් මහා විහාරයේ එකිනෙකට වෙනස් මුරගල් රැසක් පවතින අතර එහි දේවතා හා බහිරව රුවැති කැටයම් නෙළා ඇත.
මුරගල් 


ක්‍රි. ව. 2වැනි සියවසේ කාවන්තිස්ස රජු කරවන ලද්දක් වන ලාහුගල මඟුල් මහා විහාරයේ පවතින විශේෂ චතුරස්‍රාකාර හැඩයකින් වටවූ මධ්‍යය වෘත්තාකාර වන ශිලාමය ඉදිකිරීම, කාවන්තිස්ස රජු හා විහාර මහා දේවිය විවාහ වූ පෝරුව බවට ද මතයක් පවති.

බොදු උරුමයක අනන්‍යතාවය යටතේ රාජ වංශ කතාවට චමත්කාරයක් එක්කළ ලාහුගල මඟුල් මහා විහාර සංකීර්ණයේ තවත් ඉතිහාසගත තොරතුරු රාශියක් තවමත් රහස් වශයෙන් මේ විසිරුණු පස්ගොඩැලි යට සඟවා ගෙන සිටිනවා විය හැක. මඟුල් මහා විහාරයේ නියම මංගල්‍යය සිදුවන්නේ කටු කොහොල් හැර එම රහස් ගබඩාවේ සියලු දොරගුළු විවර කළ දාට ය.

කාවන්තිස්ස රජු  හා විහාර මහා දේවිය විවාහ වූ පෝරුව බවට  සැළකෙන ශිලාමය ඉදිකිරීම

Thursday, April 2, 2015

කඩොල් ඇතාගේ දළ යුගල ඇත්තේ කතරගම දේවාලයේද? රුවන්වැලි සෑයේද?

ශ්‍රි ලංකා ද්වීපයේ එදා මෙදාතුර වීරත්වයට, ගෞරවයට හා අතිශයින් ජනාදරයට පාත්‍ර වූ ඇතුන් පිළිබඳව සොයා බලන විට මෙරට ප්රථම නිදහස් සටනට උරදෙමින් එළාර රජු පරදවා ලක්දිවට නිදහස ලබා ගැනීමේ සටනේදී දුටුගැමුණු රජුට සහාය වූ කඩොල් ඇතු, අඩසියවසකට ආසන්න කාලයක් මහනුවර ඇසළ මහ පෙරහැරේ ශ්‍රි දන්ත ධාතු කරඬුව වැඩම වූ රාජා ඇතු හා තම වර්ගයා වෙනුවෙන් සටන් වැද දිවි පිදූ පනාමුරේ ඇත් රජුට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. දෙපා ඇති ඇතැම් මනුසතුන්ටත් වඩා මානුෂික ගුණාංගයන්ගෙන් සපිරුණු මෙම ඇතුන් තිදෙනා මෙසේ වීරත්වයට හා ගෞරවාදරයට පාත්රවී ඇත්තේ මෙලක්දිව වෙනුවෙන් එකිනෙකට වෙනස් වූ කාර්යභාරයක් ඉටුකර ඇති නිසාවෙනි. මෙම වීර ඇත් පරපුරේ ආරම්භකයා ලෙස කඩොල් ඇතු හැඳින්වීම යුක්තිසහගත වන්නේ අදින් වසර 2,175කට පෙර පැවැති මෙරට ප්‍රථම නිදහස් සටනේදී ලක්දිව ඒකීයභාවය වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ නිසාවෙනි.



මෙරට වංස කතා සාහිත් අනුව කඩොල් ඇතා යනු ගැමුණු කුමාරයා වෙනුවෙන්ම ඉපදුණු මංගල හස්ති රාජයෙකි. මහාවංසයේ එන පරිදි " බිසව් සුදුසු කල පින්වත් උතුම් පුතෙකු වැදුවාය. රජ කුලෙහි මහත් ආනන්දයද විය. කුමරහු පුණ්යානුභාවයෙන් එදවස් නා නා රත්නයන්ගෙන් සම්පූර්ණ නැව් සතෙක් රටින් අවුය. එම කුමරහු පින් තෙදින් ඇතෙක් තෙමේ ඡද්දන්ත කුලයෙන් ඇත් පැටවකු ගෙනවුත් මෙහි තබා පලා ගියේය. තොට විල්තෙර පඳුරු අතුරෙහි සිටියාවූ ඇත් පැටවා දැක කණ්ඩුල නම් බිලිවැදි රජහට දැන්වීය. එකෙණෙයි රජතෙමේ ඇතුන් බඳනවුන් යවා ඇත් පැටවා ගෙන්වා පෝෂණය කරවීය. කණ්ඩුල නම් තැනැත්තහු විසින් දුටු හෙයින් ඇත් කණ්ඩුල නම් වී".
(මහාවංසය. පරි : 22, ගාථා : 59 - 63)

මහාවංසයේ එන එම විස්තරය අනුව කණ්ඩුල ඇතු හමුවූයේ මාගම් පුරවරයේ සිටියදීය. එම විස්තරයේ සඳහන් ස්ථානය වර්තමාන රැකව කළපුව ලෙස හඳුනාගන්නා අතර ඇත් පැටවා අල්ලා ගැනීමට ගිය ඇත් ගොව්වන් රැකවල්ලා සිටි හෙයින් රැකව වූ බව ජනප්‍රවාදගත මතයයි. එසේම ඇත්පැටවා අල්වා ගැනීමට හැකි වුවහොත් එම ස්ථානයේ විහාරයක් කරවීමට කාවන්තිස්ස රජු බාරයක් වූ බවත්, එම නිසා එම ස්ථානයේ කණ්ඩුල චෛත්යය ඉදිකළ බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. එම චෛත්යය වර්තමානයේද කණ්ඩුල චෛත්යය ලෙස හැඳින්වීම මඟින් එම ජනප්‍රවාදයන්ගේ සත්යතාව වඩාත් තහවුරු කරයි.

එළාර රජු සමඟ යුද වැදීමට අකැමැති වූ කාවන්තිස්ස රජුට ස්ත්‍රී ආභරණ යැවීම නිසා රාජ උදහසට ලක්වූ ගැමුණු කුමරු රජ මාලිගයෙන් නික්මී මාගම් පුරවරයේ රැඳී සිටිමින් එළාර රජුගෙන් රට මුදා ගැනීමට සේනා රැස් කරන්නට විය. මෙම කාලයේ සහෝදර තිස්ස කුමරු තම පිය රජුගේ ඇවෑමෙන් පසු කණ්ඩුල ඇතුගේ භාරකාරත්වය හිමිවූ අතර තම සොයුරාට බියෙන් තම මෑණියන් හා කඩොල් ඇතුද රැගෙන දිගා වැවට ගොස් තිබේ. ගැමුණු කුමරු කඩොල් ඇතු හා මෑණියන් තම භාරයට ලබාදෙන ලෙස තම සහෝදරයාට හසුන් යැව්වද යහපත් පිළිතුරක් නොලැබුණු හෙයින් ඔහුට විරුද්ධව යුද්ධයකට එළැඹිණි. වර්තමාන යුදඟනාව දාගැබ අසලදී සිදුවූ මෙම සහෝදර සංග්‍රාමයෙන් පසු කඩොල් ඇතු ගැමුණු කුමරු යටතට පැමිණෙන ලදී. එහිදී තිස්ස කුමරු පැරැදී පලා යද්දී කඩොල් ඇතු ගැමුණු කුමරුට නමස්කාර කිරීමත් සමඟ ඔහුට මංගල හස්තියාගේ පක්ෂපාතීත්වය හිමිවිය. එය රාජ්‍යත්වයේ සංකේතයක් ලෙස හැඳින් වේ.

අනුරාධපුර ඉතිහාසයේ සුරතිස්ස රජුගෙන් පසු ද්‍රවිඩ පාලකයන් වෙත මෙරට පාලන බලය හිමිවන අතර අනුව සේන හා ගුත්තික යන ද්‍රවිඩ පාලකයන් වසර 20ක්ද, අසේල රජු වසර 16ක්ද, ඉන්පසු එළාර රජු වසර 40ක්ද වන ලෙස වසර 76ක් මෙරට පාලන බලය ගෙන යන්නට විය. යුද විරෝධී සාමකාමී රාජ ප්‍රතිපත්තියක් අනුගමනය කළ කාවන්තිස්ස රජුගේ ඇවෑමෙන් පසු මේ ලක්දිව එක්සේසත් කර බුදු දහම නඟා සිටුවීමේ මෙහෙවර භාරගත් ගැමුණු කුමරුට එළාර රජු පැරද වූ දැවැන්ත සටනේදී කඩොල් ඇතුගෙන් ලැබුණු සහාය මහා වංසයේදී ඉතා උත්කර්ෂවත් ලෙස අගය කර තිබේ. මහා වංසයේ 23 වැනි පරිච්ඡේදයේ ආරම්භයේදීම කතුවරයා කඩොල් ඇතු හඳුන්වා ඇත්තේ.
" කඩොලැත් තෙමේ බල ලක්ෂණ රුවින් හා තේජස් ජව ගුණයෙන්ද ග්‍ර වූයේ මහා කඳ ඇති විය." (මහාවංසය, පරි. 23, ගාථා : 1,2)

තවදුරටත් කඩොල් ඇතුගේ වීර ධීර ගුණාංග අගය කරන මහාවංස කතුවරයා,
"දකුණු ‍දොර කඩොලැතුය, නන්දමිත්‍ර, සුරනිමලය යන තුන්දෙනා ඉතිරි චාරිත්රයෙහි යුද්ධ කළෝය. නුවර වනාහි පරිබාත්රයක්ද උස්වූ පවුරු තොරණ්ය. ලොහොකම් කළෙදාරය (යන මෙයින්) සතුරන් විසින් බිඳ හෙළීය හැක්කේ නොවේ. ඇත් තෙමේ දෙදණින් හිඳ දෙදළින් ගල්සුණු ගඩොල් බිඳ ෙදාරට පැමිණියේය. තොරණ හුනු දෙමළ අනෙක ප්රකාර ආයුධයන්ද කකියා ගිය ලොහො ගුළිද එසේම කකාල මැලියම්ද දැමූය. පිටලු ලහට දුවන කල කඩොලැත් තෙමේ දුවමින් වේදනාවෙන් මිරිකෙමින් උදක ස්ථානයට ගොස් එහි ගිලිණි. ගෝඨයිම්බර තෙමේ මේ තට සුරාපාන නොවෙයි යෙෙදාර හැරීමය. යවෙදාර බඳවයි කීය. උතුම් ඇත් තෙමේ මන් උපදවා කුංචනාද කොට දියෙන් ගොඩ නැඟී එඩි ඇතිව ගොඩ සිට ගත්තේය. ඇත් වෙද තෙමේ ලහටු ගලවා බෙහෙත් කළේය. රජ තෙමේ ඇතු නැඟී ඇතින් කුම්භස්ථලය පිරිමැද දරුව කණ්ඩුලය මුළු ලක්දිව රජය තට දෙන්නෙමිය ඇතු තුටු කරවා වර බොජුන් කවා සළුවෙන් වෙලා මනා සන්නාහ ලවා සන්නාහ මතුයෙහි සත් ගුණකළ මීසම් බඳවා මත්තෙහි තෙල් සම් එලවා ඇතු මෙහෙයි. ඇත්තෙමේ සෙණ හඬ මෙන් ගුගුරමින් උපද්රවයන් ඉවසමින් ගොස් දෙදදින් ලැහැලි බින්දේය. එළිපත පයින් පහළේය. ‍ෙදාරබා සහිත ෙදාර ගුගුරා ගෙණ බිමහෙනි."

මෙම යුද්ධය අවසානයේදී එළාර රජු පර්වත ඇතු පිටද ගැමුණු කුමරු කඩොල් ඇතු පිටද නැඟී ද්වන්ධ සටනකට යොමුවන අතර, එහිදී එළාර රජුගේ තෝමර පහරින් වැළකෙන ගැමුණු කුමරු කඩොල් ඇතු ලවා පර්වත ඇතුට දෙදදින් ඇන වට්ටවා එළාර රජුට තෝමර පහරක් දී මරණයට පත් කරන ලදී. මෙසේ දුටුගැමුණු රජු සමඟ ඉතා සමීපව කටයුතු කළ කඩොල් ඇතු තම ස්වාමියාගේ අකල් වියෝවෙන් කම්පාවීම නිසා රෝගාතුර විය. මේ පිළිබඳව කම්පා වූ සද්ධාතිස්ස රජු ඇත්ගොව්වන්ගේ උපදෙස් පරිදි කඩොල් ඇතුගේ උපන් ප්‍රදේශය වූ මාගම් පුරවරයට එම ඇතුව රැගෙන යන ලදී. මෙසේ රැගෙන යන අතරතුර දැඩි ලෙස රෝගාතුර වූ කඩොල් ඇතු යුදඟනාව දාගැබ දෙසට නමස්කාර කරමින් මියගොස් ඇත. කඩොල් ඇතුගේ දේහය මීට සමීප පොරමැඩිල්ල නම් ස්ථානයේ මිහිදන් කර ඇති අතර, එහිදී වෙන් කරගත් දළ යුගලය දේවාලයට පූජා කර ඇති බව මත පළවේ. කඩොල් ඇතු මිහිදන් කළ ස්ථානය වර්තමානයේ පැලවත්ත සීනි සමාගමට අයත් භූමි ප්‍රදේශයක පිහිටා ඇති අතර, එම ස්ථානය පිළිබඳව ජනප්‍රවාද රාශියක් පවතී. එනම් එම ස්ථානයේ අදටද අලි ඇතුන් ගැවසෙන බව හා කිසිදු ගසක් එම ස්ථානයේ පැළ නොවෙන බවයි.

ලාංකේය රාජ්යයෙන් පවා පිදීමට ලක්වූ කඩොල් ඇතුගේ දළ යුගල වර්තමානයේ තැන්පත් කර ඇත්තේ කුමන ස්ථානයකද යන්න මෙරට ජනයාට පවතින කුකුසකි. ඇතැමුන් සඳහන් කරන්නේ මෙම දළ යුගල දුටුගැමුණු රජු ඉදිකළ මහාතූප මළුවේ තැන්පත් කර ඇති බවයි. ගැමුණු කුමරු උපන් දිනයේම උප්පත්තිය ලද කඩොල් ඇතුගේ දළ යුගල තම ස්වාමියා කාලක්රියා කළ මහාතූපය අසල නිදන් කර ඇතැයි යන්න පිළිගැනීම සාධාරණ හේතුමත පදනම් වන බව පෙනේ. නමුත් මේ පිළිබඳව අදහස් දක්වන මහාචාර්ය ටී. ජී. කුලතුංගයන් තම "අනුරපුර මහාවිහාරය" ග්‍රන්ථයේදී සඳහන් කරන්නේ මෙබඳු අදහසකි.

"රුවන්වැලි සෑයේ මෑතදී ප්‍රතිසංස්කරණය කරන ලද ආයක (වාහල්කඩ) දෙපස අර්ධ කවාකාර කුඩා ප්‍රමාණයේ සුදු පැහැති ගල් කැබැලි දෙකක් දක්නට ලැබේ. මේවා කඩොල් ඇතාගේ දළ සේ සමහරුන් විසින් හඳුන්වා දීම දක්නට ලැබේ. සත් වශයෙන්ම මේවා ආයකය ප්‍රතිසංස්කරණය කිරීමේදී මට්ටම් (මිනුම්) ගැනීම සඳහා යොදාගන්නා ලද ගල් බව සැලකිය හැකිය. මෙම වර්ගයේ ගල් කැබිලි රුවන්වැලි සෑ පන්සල ඉදිරිපිට පොකුණ කැණීමේදී හමුවිය." (40 පිටුව)

එසේ නම් කඩොල් ඇතුගේ දළ යුගල තැන්පත් කර ඇත්තේ කුමන ස්ථානයකද යන පැනයට පිළිතුරු සෙවීමේදී මීළඟ අවධානය යොමුවන්නේ රුහුණු කතරගම මහා දේවාලය වෙතය. සුමිත් රණසිංහ මහතා විසින් රචිත "කතරගම් පුවත" නම් ග්‍රන්ථයේදී (2011 ප්රථම මුද්රණය) කතරගම ඇසළ පෙරහැරේ චාරිත්‍ර ගෙනහැර පාන අතරදී පෙරහර මංගල්යයේ 6 වැනි දින චාරිත් අතරට කඩොල් ඇතුගේ දළ යුගල ප්‍රදර්ශනය කිරීමද දක්වා ඇත. එහි සඳහන් වන්නේ එදින ක්‍රියාත්මක කරන ප්‍රධාන චාරිත්‍ර 5 අතරේදී කඩොල් ඇතුගේ දළ ප්‍රදර්ශනයද සිදු කරන බවයි.

"ගබඩාපිළි හා ගොටුමහන පිලේ නියෝජිතයන්ගේ සහායෙන් දුටුගැමුණු මහ රජතුමන්ගේ මංගල හස්තිරාජයා වූ කඩොල් ඇතාගේ ඇත් දළ දෙක ප්රධාන දේවාලයේෙදාරටුව දෙපස ප්‍රදර්ශනයට තැන්පත් කිරීමද මෙදින සිදුවේ." (පිටුව 84)

කතරගම දේවාලය හා බැඳි ඉතිහාසය පිරික්සීමේදී අනාවරණය වන්නේ ගැමුණු කුමරු කතරගම දෙවියන් සමඟ පැවැති දැඩි සම්බන්ධය හේතුවෙන් කඩොල් ඇතුගේ දළ යුගලසද්ධාතිස්ස රජු දේවාලයට පූජා කරන්න ඇති බවය. උෟව - වෙල්ලස්ස කැරැල්ල සමයේදී මෙම දළ යුගල දේවාලයෙන් ගෙන ගොස් ගල් ගුහාවක සඟවා තබා පසුව නැවත ගෙනවිත් ඇති බවටද මත තිබේ.

ඇත් දළය ලෙස හඳුනා ගන්නා අලින්ගේ උඩුහනුවෙන් එළියට ඇදෙන කෘන්තක දත් දෙක පිළිබඳව සලකා බැලීමේදී වර්තමානයේ දැකගත හැකි සාමාන් ඇතෙකුගේ දළ යුගලට වඩා කතරගම දේවාලයේ තැන්පත් කර ඇති කඩොල් ඇතාගේ යැයි සැලකෙන දළ යුගල ප්‍රමාණයෙන් විශාල බව පෙනේ. එසේම වර්තමානයේ ඒවා මඳක් අවපැහැ ගැන්වී ඇත.

අනුව කතරගම මහා දේවාලයේ ඉතිහාසය, පෙරහර චාරිත්‍ර, ජනප්‍රවාද හා දැනට දක්නට ලැබෙන පුරාවිද්යාත්මක සාධක අනුව අපට අනුමාන කළ හැක්කේ කඩොල් ඇතුගේ දළ යුගල තැන්පත් කර ඇත්තේ කතරගම දෙවියන් සමීපයේ කතරගම දේවාලය තුළ බවයි. මෙරට එක්සේසත් කිරීමට දුටුගැමුණු රජුට සහාය දෙමින් විජතපුර බලකොටුවේෙදාර අඟුළු සිඳලූ විස්මිත ඇත් දළ යුගල වසරක් පාසා කතරගම පෙරහර මංගල් පවත්වන අවස්ථාවේදී සියලුම ලාංකිකයන්ට දැකබලා ගැනීමේ හැකියාව උදාවෙන බව මෙහිදී සිහිපත් කිරීම වටී.

(පුවත්පතක පළවූ ලිපියක් ඇසුරෙනි)