Sunday, March 3, 2019

බෞද්ධ විශ්ව න්‍යායවේදය - දෙවන පරිච්ඡේදය

කලින් ලිපියේ අප සාකච්ඡාවට බඳුන් කළේ බෞද්ධ දර්ශනයේ එන චක්කවාද/චක්කවාල විශ්ව න්‍යායවේදයයි. දැන් අප පළමුව අවකාශ විශ්ව න්‍යායවේදයෙහි සහස්‍ර විශ්ව න්‍යායවේද කොටස ගැන සොයා බලමු. මේ යටතේ විස්තර කෙරෙන්නේ අප වාසය කරන්නා වූ විශ්වයෙහි භෞතික ස්වභාවයයි. සැකෙවින් කිවහොත් විශ්වය තුළ දක්නට ලැබෙන පොකුරු ගැසීම් (groupings) වේ. බෞද්ධ දර්ශනය විශ්වය අදියර තුනකින් බෙදා දක්වයි. (මෙම ලිපියේ එන ඇතැම් කරුණු කලින් ලිපියේ එන කරුණු සමඟ ඍජුවම සම්බන්ධ වන බව කරුණාවෙන් සලකන්න). 
ඒවා නම්;
  • සහස්සී චූලනිකා ලෝක ධාතුව -- Small Chiliocosm : 

සහස්සී චූලනිකා ලෝක ධාතුව යනුවෙන් හැඳින්වෙන ඒකකය නිර්මාණය වී ඇත්තේ කුඩා ලෝක 1000 ක එකමුතුවෙනි. මෙහිදී කුඩා ලෝකයක් ලෙස ගැනෙන්නේ කලින් ලිපියේ සඳහන් කරන ලද මානසික ස්තර 31 අතරින් 14 වන තලයේ සිට පහළට ඇති ලෝකයි. ඒවා අතරට ප්‍රථම ධ්‍යාන බ්‍රහ්ම ලෝක 3 ද, සුර ලෝක 6 ද, මානව ලෝකය ද දුක්ඛ ලෝක 4 අයත් වේ. මෙවන් සංකලනයකින් යුතු එක් කුඩා ලෝක පද්ධතියක් කල්ප එකක් අවසානයේ ගින්නෙන් විනාශ වී යයි. මෙවන් කුඩා ලෝක 1000ක එකමුතුවෙන් සහස්සී (අංග 1000කින් යුත්) චූලනිකා (චූල/කුඩා) ලෝක ධාතුවක් නිර්මාණය වේ. මෙම ලෝක ධාතුවෙහි ඇති සෑම කුඩා ලෝකයක් ම එක්වර නිර්මාණය වී විනාශ වී යාමට හේතුවක් නැත. එය සහස්සී චූලනිකා ලෝක ධාතුවේ ආයු කාලය වන කල්ප 8ක් පුරාවට විවිධ අවස්ථා වලදී නැවත නැවතත් සිදුවීට ඉඩකඩ ඇත. මෙසේ එම එක් එක් කුඩා ලෝකය විනාශ වන වාරයක් පාසා එය නැවත ජනාවාස වන්නේ සහස්සී චූලනිකා ලෝක ධාතුවට අයත්, එහෙත් කුඩා ලෝකයට පිටතින් පිහිටි, ද්විතියික රූප ධ්‍යාන ලෝක හෙවත් ආභස්සර ලෝක වල (ස්තර 17-15) වැසියන්ගෙනි. කල්ප 8ක් අවසානයේ සහස්සී චූලනිකා ලෝක ධාතුව ද ජලයෙන් විනාශ වී යයි.

  • ද්විසහස්සී මඣ්ඣිමනිකා ලෝක ධාතුව -- Medium Dichiliocosm : 

ද්විසහස්සී මඣ්ඣිමනිකා ලෝක ධාතුව නිර්මාණය වන්නේ සහස්සී චූලනිකා ලෝක ධාතු 1000ක සංකලනයෙනි. තෘතියික ධ්‍යාන (සුභක්ෂ්ණ) බ්‍රහ්ම ලෝක (ස්තර 20-18) පිහිටා ඇත්තේ සහස්සී චූලනිකා ලෝක ධාතුවට පිටතින් ද්විසහස්සී මඣ්ඣිමනිකා ලෝක ධාතුව තුළ ය. එනම් මෙහි ඇති ජනාවාස වූ කුඩා ලෝක ගණන මිලියනයකි. සෑම කල්ප 64ක් අවසානයේම ද්විසහස්සී මඣ්ඣිමනිකා ලෝක ධාතුව ද සුළඟින් විනාශ වී යයි. කල්ප 8කට වරක් සහස්සී චූලනිකා ලෝක ධාතුව ජලයෙන් විනාශ වී ගිය විට ඒවා නැවත ජනාවාස වන්නේ සුභක්ෂ්ණ බ්‍රහ්ම ලෝක වල වැසියන් ගෙනි.

  • ත්‍රිසහස්සී මහා ලෝක ධාතුව -- Great Trichiliocosm : 

ත්‍රිසහස්සී මහා ලෝක ධාතුව නිර්මාණය වන්නේ ද්විසහස්සී මඣ්ඣිමනිකා ලෝක ධාතු 1000ක සංකලනයෙනි. චතුර්ථ ධ්‍යාන (බ්‍රහත්ඵල) බ්‍රහ්ම ලෝක වල (ස්තර 23-21) සිට ඉන් ඉහළට ඇති සියලුම ලෝකයන් පිහිටා ඇත්තේ ද්විසහස්සී මඣ්ඣිමනිකා ලෝක ධාතුවෙන් පිටත ත්‍රිසහස්සී මහා ලෝක ධාතුව තුළයි. එනම් මෙහි ඇති ජනාවාස වූ කුඩා ලෝක ගණන බිලියනයකි. ත්‍රිසහස්සී මහා ලෝක ධාතුව කිසි දිනෙක විනාශ වී යන්නේ නැත. කල්ප 64කට වරක් ද්විසහස්සී මඣ්ඣිමනිකා ලෝක ධාතුව සුළඟින් විනාශ වී ගිය විට ඒවා නැවත ජනාවාස වන්නේ බ්‍රහත්ඵල බ්‍රහ්ම ලෝක වල වැසියන් ගෙනි. බ්‍රහත්ඵල බ්‍රහ්ම ලෝක වලින් පිටත ඇති ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක වල වැසියන් කිසි දිනෙක තමන් ලබා සිටින අධ්‍යාත්මික දියුණුවෙන් පිරිහී පහළට වැටෙන්නේ නැති අතර (අනාගාමී වී ඇති නිසා) අරූපාවචර බ්‍රහ්ම ලෝක වල වැසියන්ට රූපයක් නැති නිසා ඔවුන් අන් ලෝක වල වැසියන් සමඟ අන්තර්ක්‍රියා කරන්නේ නැත.


මීට සාපේක්ෂව නූතන තාරකා විද්‍යාවට අනුව ද විශ්වය ප්‍රධාන කොටස් තුනකින් සංයුක්ත වී ඇත. 
ඒවා නම්;

  • මන්දාකිණි -- Galaxies : මන්දාකිණියක් යනු තාරකා (Stars), වායු පටල (Gas clouds)හා දුහුවිලි අංශු (Dust particles) ඇතුළත් අන්තර්තාරීය මාධ්‍යය (Interstellar medium) සහ උපකල්පිත අඳුරු පදාර්ථයෙන් (Drak matter) නිර්මිත ගුරුත්වයෙන් එකට බැඳුනු අති විශාල තනි පද්ධතියකි. මේවායෙන් ඇති ඇතැම් තාරකා වටා ග්‍රහ මණ්ඩල පිහිටා ඇති අතර තවත් ඒවායේ එසේ නැත. තාරකා විවිධ ප්‍රමාණයන්ගෙන් එක්වී මන්දාකිණි නිර්මාණය වේ. අප වාසය කරන ක්ෂීරපථයෙහි ආසන්න වශයෙන් තාරකා බිලියන 200ත් 400ත් අතර සංඛ්‍යාවක් ඇත.

  • මන්දාකිණි පොකුරු -- Galaxy Clusters : මන්දාකිණි කණ්ඩායම් (Groups) හා පොකුරු (Clusters) ලෙස මේවා කොටස් දෙකකි. කණ්ඩායමක ආසන්න වශයෙන් මන්දාකිණි 10ත් 50ත් අතර සංඛ්‍යාවක් ඇති අතර පොකුරක 50සිට දහස් ගණනක් දක්වා පිහිටිය හැක. මේවා අතර නිශ්චිත බෙදුම් ලකුණක් නැතත් මේවායේ විශේෂත්වය වන්නේ විශ්වය තුළ ගුරුත්වය මගින් බැඳී ඇති විශාලතම ව්‍යුහ පද්ධතීන් මේවා වීමයි. අප වසන ක්ෂීරපථය ඇත්තේ Local Group නමින් හැඳින්වෙන මන්දාකිණි පොකුර තුළ ය. එහි මන්දාකිණි 40කට අධික සංඛ්‍යාවක් ඇත. නමුත් මේවා තුළ එක් එක් තනි මන්දාකිණි වල ප්‍රවේගයන් සළකා බලන විට, ඒවාට එතරම් විශාල ප්‍රවේගයක් අත්කරගන්නා අතරම ගුරුත්වයෙන් බැඳී පැවතීමට නම් තවත් විශාල, දර්ශනය නොවන, අද්භූත ස්කන්ධයක් පැවතිය යුතු යැයි විශ්වාස කෙරේ. ඊට අඳුරු පදාර්ථය යන නම ව්‍යවහාර වේ. මේවා පරීක්ෂණාත්මකව සොයාගෙන නැත

  • සුපිරි මන්දාකිණි පොකුරු -- Galaxy Superclusters : සුපිරි මන්දාකිණි පොකුරු යනු මන්දාකිණි පොකුරු (Galaxy Clusters) විවිධ ප්‍රමාණයන්ගෙන් එක් වී ඇති පද්ධතියකි. අප වසන පොකුර වන එක අයත් වන්නේ Local Supercluster හෙවත් Virgo Supercluster එකටයි. මෙහි මන්දාකිණි පොකුරු 100ක් පමණ ඇතැයි විශ්වාස කෙරේ. කලක් යනතුරු සිතා සිටියේ විශ්වයේ විශාලතම ව්‍යුහයන් මේවාය කියා ය. නමුත් ප්‍රබල දුරේක්ෂ භාවිතයෙන් මෑතකදී කළ අධ්‍යයනයන් වලින් Super clusters වලටත් වඩා විශාල සූත්‍රිකා (Filaments), ප්‍රාකාර (Walls) වැනි අති විශාල පද්ධතීන් විශ්වයේ ඇතැයි සොයාගෙන තිබේ. නමුත් මේ එකක් වත් ගුරුත්වයෙන් බැඳී නැති අතර එක පොදියට පිහිටා ඇති අතර Voids නම් ඒවා අතර ඇති විශාල හිස් ඉඩ ප්‍රමාණ වලින් වෙන්වී ඇති නිසා ව්‍යුහයන් ලෙස නිර්ණය කෙරේ. මේවාට කිසිදු නිශ්චිත හැඩයක් නැති අතර පොදුවේ Super Cluster Complexes/ SCC යන නම ව්‍යවහාර කෙරේ.

බෞද්ධ විශ්ව න්‍යාය වේදය සහ නූතන විශ්ව න්‍යායවේදය යන විෂයන් අධ්‍යයනය කරන කිසිවෙක් මෙම පද්ධතීන් සන්සන්දනය නොකළ යුතුය. ඊට හේතුව නූතන විද්‍යාඥයන් අතර නූතන විද්‍යාවේ, මහා පරිමාණ විශ්ව ආකෘතිය (large scale structure of universe) පිළිබඳ කිසිදු එකඟතාවන් නොමැති වීමයි. මෙහි එන කරුණු බොහෝමයක් සොයාගන්නට යෙදුනේ 90දශකය අග භාගයේදී සහ 21වන සියවසේදී ය. එම කරුණු දිනපතා කරන සොයාගැනීම් හරහා දිනපතාම වෙනස් වීම් වලට භාජනය වේ. එසේම Dark matter, Dark energy වැනි උභතෝකෝටිකයන් ගැන තවමත් නිසි අවබෝධයක් විද්‍යාඥයන් අතර නැත. Dark matter යන සංකල්පය කරළියට පැමිණියේ ම මන්දාකිණි වල ස්කන්ධය පිළිබඳ මතුවූ ගැටලුවක් නිසා ය. එනම් ගණිතමය වශයෙන් බලන විට තිබිය යුතු ලෙස පෙනෙන ස්කන්ධය නිරීක්ෂණයෙන් දැකිය නොහැකි හෙයිනි. (මේ නිරීක්ෂණය මුල් වරට කරන ලද්දේ 1933 දී Fritz Zwicky නම් විද්‍යාඥයා විසිනි). අප සෑම දෙයක්ම නිරීක්ෂණය කරන්නේ විද්‍යුත් චුම්බක තරංග ආධාරයෙනි. විද්‍යුත් චුම්බක තරංග වලට හසු නොවන දෙයක් ඍජුව හෝ වක්‍රව කිසිදු ආකාරයක පරීක්ෂාවකින් තහවුරු කළ හැකි නොවේ. වත්මන් විශ්ව න්‍යායවේදීන් ද මුහුණදී ඇති ගැටලුව මෙයයි. පුදුමයකට මෙන් නිවන හෝ සුර ලෝක පිළිබඳ බෞද්ධ මතය විවේචනය කරන ඇතැම් බක පණ්ඩිතයන් මේවා දන්නේ නැත. ඔවුන් සිතා සිටින්නේ පරීක්ෂණාත්මකව තහවුරු කළ නොහැකි කිසිදු දෙයක් සැබෑවට පවතින්නේ නැතැයි කියා ය.

නැවතත් Dark Matter දෙසට හැරෙමු. තවත් විද්‍යාඥයන් පිරිසක් තර්ක කරන්නේ Dark Matter ආශ්‍රිත මෙම ස්කන්ධ ගැටලුව ඇතිවන්නේ නිව්ටන් නියම හරිහැටි අවබෝධ කර නොගැනීම නිසායැයි කියා ය. ඔවුනට අනුව අප දැනට භාවිතා කරන නිව්ටන්ගේ දෙවන නියමය වැරදි ය. අප සෑම විට ම ත්වරණයෙන් ගමන් කරන වස්තුවක් සඳහා F=ma සමීකරණය යෙදීමට පුරුදුව සිටියත් ත්වරණය ඉතාමත් කුඩා වන මන්දාකිණියක් වැනි පද්ධතියකට එය එසේ යෙදිය නොහැක. ඒ වෙනුවට F=ma සමීකරණය මෙසේ වෙනස් වේ. 

F=m.µ(a/a0).a 
µ(a/a0)=µ(x) ලෙස ගනිමු
|x|≫1 විට µ(x)=1
0 <|x|≪1 විට µ(x)=x ද වේ
මෙහි;
m= වස්තුවේ/මන්දාකිණියේ ස්කන්ධය,
a= වස්තුවේ/මන්දාකිණියේ ත්වරණය, 
a0= නිර්ණය කළ යුතු නියතයක්.

a0=1.2×10−10 ms−2 බව පසුකාලීන අධ්‍යයන වලින් හෙළි වී ඇත. මන්දාකිණි වල ත්වරණය ඉතා අවම නිසා (1.2×10−10) ඒවා ගණිතමය සමීකරණයන්ට නැංවීමේදී µ(x) පදය විශාල කාර්ය භාරයක් ඉටු කරයි. එමගින් අඳුරු පදාර්ථය තුළ ගැබ්ව ඇති ස්කන්ධ ගැටලුව විසඳෙනු ඇති බවට ඇතැම් විද්‍යාඥයෝ විශ්වාස කරති. 1981 දී Mordehai Milgrom විසින් ඉදිරිපත් කළ මෙම න්‍යාය හැඳින්වෙන්නේ Modified Newtonian Dynamics (MOND) යන නමිනි. විද්‍යාවේ නව පැතිකඩක් විවර කිරීමට මෙය සමත් වුවද ගුරුත්ව කාච ආචරණය ආශ්‍රිත ගැටලු පැහැදිලි කිරීමට මෙය අපොහොසත් වීම නිසා මෙය තවමත් බහුතර විද්‍යාඥ පිරිසක් අතර පිළිගැනෙන්නේ නැත. 2004 දී Jacob Berkenstein විසින් ඉදිරිපත් කළ TeVeS (Tensor-Vector-Scalar) නම් සාපේක්ෂතා MOND න්‍යාය (Relativistic MOND theory) හරහා මුල් න්‍යාය තුළ පැවති ප්‍රශ්න බොහොමයක් විසඳුන ද තවමත් ඒය සර්ව සම්පූර්ණ තත්ත්වයේ නැත. නමුත් තවමත් බොහෝ විද්‍යාඥයන් විශ්වාස කරන්නේ පැරණි Dark Matter න්‍යායයි. ඒ එම න්‍යාය සත්‍ය නිසා නොව ඊට අභියෝගයක් එල්ල කිරීමට අනෙක් න්‍යායන් අසමත්ව ඇති නිසා පමණි.

මා මේ කරුණු ඉදිරිපත් කළේ නූතන විශ්ව න්‍යායවේදය පැටලී සිටින පඹගාල කුමක්දැයි ඔබට මඳක් හෝ අවබෝධ කරගැනීම පිණිස ය. මේ කිසිවක් නොදැන ඇතැම් පුද්ගලයන් නිවන හා මානසික ස්තර 31 පර්යේෂණාත්මකව ඔප්පු කළ නොහැකි යැයි පැවසීම ඉතා කණගාටුදායක තත්ත්වයකි.

මෙහිදී පැහැදිලි කළයුතු තවත් කරුණක් තිබේ. එනම් විශ්වයේ මහා පරිමාණ ආකෘතිය පිළිබඳ නූතන විද්‍යාත්මක අ(න)වබෝධයයි. නූතන විද්‍යාවට අනුව විශ්වය වසර බිලියන 13.7ක් පමණ පැරණි ය. මේ පිළිබඳ විවිධ තර්ක ඇති බව මා කලින් ලිපියක සඳහන් කරන ලදී. එම නිසා ඒ ගැන නැවත නැවත කීමට යන්නේ නැත. නමුත් නූතන විද්‍යාවට අනුව විශ්වයේ ව්‍යුහය ගැන අපූරු කරුණු සොයාගෙන ඇත. මා කලින් සඳහන් කළ මන්දාකිණි, මන්දාකිණි පොකුරු, සුපිරි මන්දාකිණි පොකුරු යනාදී සියල්ල අයත් වන්නේ නිරීක්ෂණය කළහැකි විශ්වය (Observable Universe) ටයි.

Observable Universe යනු අපට පෙනෙන විශ්වයයි. අපට පෙනෙන විශ්වයක් ඇත්තම් අපට නොපෙනෙන විශ්වයක් ද තිබිය යුතු ය. අපට පෙනෙන විශ්වය යනු නිරීක්ෂකයා කේන්ද්‍ර කරගත් අරය ආසන්න වශයෙන් ආලෝක වර්ෂ බිලියන 46.5ක් පමණ වූ ආසන්න වශයෙන් ගෝලාකාර වස්තුවකි. නමුත් එහි අදහස විශ්වයේ මධ්‍යය පෘථිවිය බව නොවේ විශ්වයේ කුමන තැන සිට බැලුව ද එය වටා පෙනෙන ලෝකය (විශ්වයේ) අරය ආලෝක වර්ෂ බිලියන 46.5කි. ඇතැමුන්ට මෙය ආගන්තුක සංකල්පයක් විය හැක. මන්ද නූතන අයින්ස්ටයිනීය සාපේක්ෂතාවාදය මගින් යම් වස්තුවක් ආලෝකයේ වේගයට වඩා වේගයෙන් ගමන් කිරීමට බාධක දමන බැවිනි. ඔව් එය සැබෑ ය! නමුත් අවකාශය යනු තවත් එක් වස්තිවක් නොවේ. අවකාශය ප්‍රසාරණය වන්නේ අවකාශය තුළ ම ය. එසේම අවකාශ කාලය පැතලි (flat) දෙයක් නොවේ. අවකාශ කාලය වක්‍ර වී ඇත. එම නිසා විශ්වයේ වයස අවුරුදු බිලියන 13.7ක් වූ පමණින් (ප්‍රතිවිරෝධතා ගහණ ය) විශ්වය ද අරය ආලෝක වර්ෂ බිලියන 13.7ක් වූ ගෝලයක් වීමට අවශ්‍ය නැත. අඩුම තරමින් විශ්වය ගෝලයක් දැයි කියා වත් නූතන විද්‍යාව නොදනී!

නූතන විද්‍යාවම අනුමාන කරන පරිදි සැබෑ විශ්වය අප දකින විශ්වයට වඩා බෙහෙවින් විශාල ය. එය කොතෙක් දැයි කිවහොත් අප දකිනා සහ නොදකින විශ්වය අතර ප්‍රමාණ අනුපාතය ms−2 ට අඩු නිසා ඒ තුළ අවම වශයෙන් 1:1023 ත් 1:1026ත් අතර වේ. මෙය සාපේක්ෂව සඳහන් කළහොත් අපට පෙනෙන විශ්වය දොඩම් ගෙඩියක් නම් නොපෙනෙන විශ්වය පෘථිවිය තරම් විශාල ය! (සාපේක්ෂ පරිමාණය 1:1024). අපට එසේ නොදැකිය හැකි කොටසක් තිබීමට හේතුව එතරම් ඈතක සිට විද්‍යුත් චුම්බක තරංග අප වෙත ඒමට හැකියාවක් නැතිකම ය. අප ඈත මන්දාකිණි කියා දකින්නේ අතීතයයි. කෙනෙකුට කාලය හරහා පිටුපසට යෑමට ඇති එකම ක්‍රමය ඈත තරු එළිය දෙස බලා සිටීමයි. එපමණක් ද නොවේ. ක්‍රම ක්‍රමයෙන් අපට පෙනෙන විශ්වයේ ඇති දෑ ද නොපෙනී යමින් තිබේ. ඊට හේතුව නම් ඈත ඇති මන්දාකිනි අපේ එකේ සිද්ධි ක්ෂිතිජයෙන් (Event horizon) එපිටට වැටීමයි. එබැවින් තවත් දීර්ඝ කාලයකින් ක්ෂීරපථය අඳුරු විශ්වයේ තනි වනු ඇත.

දැන් නැවතත් බෞද්ධ විශ්ව න්‍යායවේදය දෙසට යොමුවෙමු. සහස්සී චූලනිකා ලෝක ධාතුවෙන් නිර්මාණය වී ඇත්තේ ජනාවස වූ ලෝක 1000 කිනි. සහස්සී චූලනිකා ලෝක ධාතුවෙන් පිටත එහි වැසියන් හට නොපෙනෙන ලෝක ගණන අපමණ ය. නූතන විද්‍යාව එය පිළිගනී. පෙනෙන විශ්වය තුළ ඇති බිලියන 80ක් පමණ වන මන්දාකිණි හැරුණු විට ඉන් පිටත ද අනන්තවත් වූ මන්දාකිණි පිහිටා ඇති බව එය කියයි. එසේම නූතන විද්‍යාවට දැකිය හැක්කේ විද්‍යුත් චුම්බක විකිරණ විමෝචනය කරන වස්තූන් පමණි. එසේ නොමැති කිසිවක් දැකීමට ඊට හැකියාවක් නොමැති බව අඳුරු පදාර්ථය පිළිබඳබ නිර්මාණය වී ඇති ගැටලුවෙන් පෙනී යයි. සුරලෝක, බ්‍රහ්ම ලෝක පෙනෙන්නේ නැත්තේ මන්දැයි විමසන ඇත්තන්ගේ තර්ක අතේ පත්තු වන්නේ දැන් ය.

බුදුරජාණන් වහන්සේට විශ්වය කරුණු එකින් එක පැහැදිලි කිරීමේ අවශ්‍යතවක් නොවුණි. ක්‍රි.පූ. 6වන සියවසේ ඉන්දීය ජන සමාජයේ ජනතාව එකක් තබා ඉර වටේ පොළොව යන බව වත් දැන සිටියේ නැත. එවන් තත්ත්වයක් තුළ උන්වහන්සේ දේශනා කළ විශ්වය පිළිබඳ කරුණු අකාලික-හැමදාටම ගැළපෙන ලෙස දේශනා කිරීම සැබැවින්ම ආශ්චර්යයකි.

අවසාන වශයෙන් අප බෞද්ධ පරිණාම විශ්ව න්‍යායවේදය (Temporal Cosmology) දෙසට යොමුවෙමු. මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරෙන්නේ විශ්වයේ එක් එක් මට්ටම් වල සම්භවය, පැවැත්ම, විනාශය යන කරුණුයි. බුදු දහමේ විශ්වය පිළිබඳ කරුණු වලදී යෙදෙන ප්‍රධානතම කාල මානන ඒකකය කල්ප, නැතහොත් මහා කල්ප (Great Eon) වේ. මහා කල්පයක අගය වත්මන් කාල ඒකක වලින් සඳහනක් නැත. නමුත් එය අනිවාර්යයෙන්ම පෘථිවි වර්ෂ බිලියනය ඉක්මවා ගියහොත් මිස ඊට අඩුවන්නේ නැත. සෑම කල්පයකට වතාවක් ම සෑම ලෝක ධාතුවක්ම (ස්තර 14 සිට පහළට ) විනාශ වී නැවත හටගැනීම සිදුවේ. මෙම මහා කල්පය නැවත වරක් උප කොටස් (Eons) 4කට බෙදේ. එම එක් එක් කල්පය ද නැවත වරක් අන්තර් කල්ප (Inside Eons) 20 කට බෙදේ.

ප්‍රධාන බෙදීම් 4න් එකක් වන සාම්වට්ඨ ස්ථායී කල්පය තුළදී මෙම උප බෙදීම් හුදු නාමයන් පමණක් වන අතර එහිදී විශේෂ සිදුවීම් කිසිවක් වන්නේ නැත. එම ප්‍රධාන බෙදුම් කොටස් හා ඒ එක් එකක් තුළදී සිදුවන ක්‍රියා කෙටියෙන් මෙසේ ය.

විවට්ඨ කල්පය -- Eon of Evolution 
මෙය ලෝක ධාතුවේ ආරම්භක අවස්ථාවයි. මෙහිදී විශාල කැළඹීම් මගින් විශාල භෞතික ව්‍යූහයන් නිර්මාණය වීමට පටන්ගනී. මේ සඳහා අමුද්‍රව්‍ය ලැබෙන්නේ කලින් විනාශ වූ ලෝක ධාතුවෙහි වූ මූලද්‍රව්‍ය වලිනි. නූතන විද්‍යාවටත් මෙය පොදු ය. එහිදී ද විශ්වයේ තැනුම් ඒකකය වූ හයිඩ්‍රජන් මූලද්‍රව්‍යය, අණුක වළා (Molecular Clouds) ලෙස ගුරුත්වය යටතේ එක්වීමට පටන්ගනී. අනතුරුව එම අණු, මධ්‍යය වටා ඉතා ප්‍රචණ්ඩ ලෙස පරිභ්‍රමණය වීමට පටන්ගනී. එහිදී තවතවත් අණු එම වළාවට එක්වීමට පටන්ගනී. අවසානයේ එම සමස්ත පද්ධතියේ ස්කන්ධය එක් නියත අගයක් (Jeans Mass) ඉක්මවා ගිය විට තම ගුරුත්වය යටතේ එම අණුක වළාව බිඳවැටීමට පටන්ගනී. ජීන්ගේ ස්කන්ධය අත්කර නොගත් අවස්ථා වලදී ද අණුක වළා අතර ගැටුම්, සුපර්නෝවා වලින් නික්මෙන ගුරුත්ව තරංග හා නියුට්‍රිනෝ ධාරා, මෙන්ම අණුක වලා සහ අතර ඇතිවන ගැටුම් යනාදියෙන් නික්මෙන කම්පන තරංග (Shock Waves) යනාදී බාහිර බලපෑම් මත මෙය සිදුවිය හැක. එමගින් මධ්‍ය තාරකාව නිර්මාණය වන අතර වටේ ඇති අණු වලින් accretion disk එකක් සෑදී ජීවී පැවැත්මට උචිත ග්‍රහලෝක ඇතුලු ග්‍රහ පද්ධති බිහිවේ. ලෝක බිහි වූ පසුව වඩාත් ඉහළින් ඇති, විනාශ නොවූ ලෝක ධාතු වලින් ජීවීන් පැමිණ, ජීවයට උචිත ග්‍රහලෝක අතර සංචාරය කිරීමට පටන්ගනී. ඒවා අතර ගමන් කරන විට ඔවුන් ඒවා නැරඹීමට වන් කල්හි ඒ කෙරෙහි ආශාවක් ඔවුන් තුළ ජනිත වේ. ඊට හේතුව නම් ඒවායේ සුන්දරත්වයයි; එහි ඇති ද්‍රව්‍ය ආහාරයට ගත්විට දැනෙන ප්‍රණීත රසයයි. මෙම රසයන්ට සිත ඇදී ගිය කල්හි ඔවුනට ඔවුනගේ කලින් පැවති අධ්‍යාත්මික දියුණුව පිරිහීමට් පටන්ගනී (ධ්‍යානයක් ලැබූ විට එය මහත් උත්සාහයෙන් යුතුව රැකගත නොහැකි වුවහොත් ඉන් පිරිහී පහළට ඇද වැටීමට වැඩි කාලයක් ගත නොවේ). අවසානයේ ඔවුන් කලින් තිබූ සියලු සම්පත් අහිමි, නවතම ජීවී ප්‍රජාවක් බවට පරිණාමය වේ. ඔවුන් අතර කලින් නොතිබූ දුෂ්චරිතයන් හටගනී. දුෂ්චරිතයන් වැඩිවෙමින් යන විට 14වන මානසික ස්තරයේ සිට පහළට, එක් එක් ලෝක පිරෙමින් යාමට පටන්ගනී. එම එක් එක් ලෝකය ද නැවත නැවතත් පරිණාමය වේ. (බුදු දහම හැරුණුකොට පරිණාමවාදය පිළිගන්නා එකම දහමක් වත් මෙලොව නැත). උදාහරණයක් ලෙස මනුෂ්‍ය ලෝකයේ ඉපදෙන ජීවීන් ක්‍රම ක්‍රමයෙන් තමන්ට ආවේණික අර්ථ ක්‍රමයක් නිර්මාණය කරගන්නා අතර දේශපාලන ව්‍යුහයක් ද නිර්මාණය කරගනී. ඊට හේතුව නම් මිනිසුන් කණ්ඩායම් අතර බෙදීම්, කළකෝලාහල, හැළහැප්පීම් ඇතිවීමයි. එම තත්ත්වයන් පාලනය කිරීමට මුලුමහත් මානව වර්ගයාටම එක් නායකයෙකු බිහිවේ. ඔහු "මහා සම්මත" (the great appointed one) නමින් හැඳින්වේ. (වැඩිදුර කරුණු : අග්ගඤ්ඤ සූත්‍රය, දීඝ නිකාය, 27 වන සූත්‍රය)

විවට්ඨ ස්ථායී කල්පය -- Eon of Evolution-Duration 
පළමු අන්තර් කල්පය : 
විවට්ඨස්ථායී කල්පය ආරම්භයේදී පළමු ජීවීන් නරකයන්හි බිහිවේ. මෙහිදී අපාය යනුවෙන් ස්ථිර දෙයක් නොපවතින බව සැළකුව මැනවි. ජීවීන් නැති කාලයේ කිසිදු ලෝකයක් පවතින්නේ නැත. විවට්ඨස්ථායී කල්පයේ පළමු අන්තර්කල්පයේදී ද ලෝකය පාලනය කරන්නේ චක්‍රවර්ති නම් තනි රජ කෙනෙකි. මෙවැනි රජවරු 7 දෙනෙක් පහළ වේ. ඒ සෑම කෙනෙක්ම නිශ්චිත කාලයක් (මහා සුදස්සන නම් එවන් චක්‍රවර්ති රජ කෙනෙකුගේ වසර 336 000ක් දක්වා දිවෙන පාලන කාලය ගැන මහා සුදස්සන සූත්‍රයෙහි - දීඝ නිකාය, 26 වන සූත්‍රයෙහි - සඳහන් වේ) මානව වර්ගයා පාලනය කොට ශ්‍රමණ ජීවිතයකට ඇතුළත් වේ. නමුත් මෙම පරපුරේ 7 වන රජු පමණක් නියමිත කාලයේ පාලනය තම අනුප්‍රාප්තිකයාට භාරදීමට අකැමැති බේ. මේ නිසා මානව වර්ගයාගේ පාලනය පාලන තන්ත්‍රයෙන් ගිලිහී ගොස් ලෝකය අරාජික වේ. හොරකම, දූෂණය වැඩිවේ. අවසානයේ මානව සංහතිය කොටස් කිහිපයකට කැඩී යයි. අවසානයේ මානවයාගේ ආයු කාලය 80000 සිට 100 දක්වා අඩු වේ. මෙම කාල පරිච්ඡේදය තුළ බුදුවරුන් සිව් දෙනෙකු මානව ලෝකයෙහි පහළ වේ (ගෙවී යන්නේ මහා භද්‍ර කල්පයක් නිසා බුදුවරුන් 5 දෙනෙකු විවිධ කාල ප්‍රාන්තරයන් තුළ පහළ වේ. වෙනත් කල්ප වල එසේ නොවීමට ඉඩ ඇත. උදාහරණයක් ලෙස මෛත්‍රී බුදුරජාණන් වහන්සේහ්ගෙන් අනතුරුව බුදු කෙනෙක් නැවත පහළ වන්නේ කල්ප 59කිනි). 

මානවයාගේ වයස අවුරුදු,
40000 දී කකුසඳ බුදුරජාණන් වහන්සේ ද, 
30000 දී කෝනාගමන බුදුරජාණන් වහන්සේ ද 
20000දී කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ද පහළ වූහ. අවසාන වශයෙන් , මෙම අන්තර් කල්පයේ අවසන් බුදුරජාණන් වහන්සේ වන ගෞතම බුදුන් වහන්සේ පහළ වන්නේ මානවයාගේ සාමාන්‍ය වයස අවුරුදු 100 ක් වන විට ය. 

මානවයාගේ ඉතිරි කාල පරිච්ඡේදය දුෂ්චරිතයෙන් ගහණ ය. ඔවුන්ගේ ආයු කාලය 100 සිට 10 දක්වා පහත වැටේ. සියලුම ආකාරයේ දුෂ්චරිතයන් ඉතා සීඝ්‍රයෙන් ඉහළ යන අතර මහා යුද්ධයකින් සියල්ල අවසාන වේ. එමගින්, මානව වර්ගයාගෙන් ඉතා සුළු පිරිසක් හැර අන් සියලු දෙනාම මියයන අතර පළමු අන්තර් කල්පය අවසන් වේ (කොතරම් සාධාරණ තර්කයක් ද? මානව වර්ගයා සතුව අද පවතින න්‍යෂ්ටික අවි ප්‍රමාණය, පෘථිවිය මත මානව හා ජෛව ප්‍රජාව කිහිප වරක් විනාශ කර දැමීමට සමත් ය). 

දෙවන අන්තර් කල්පය : 
යුද්ධය අවසන් වීමෙන් අනතුරුව සැඟවී සිටි ගුණදහම් රැකගෙන සිටි මානව පිරිස නව ශිෂ්ඨාචාරයක් පෘථිවිය මත ආරම්භ කරති. ඔවුන් යහපත් ලෙස කල් ගෙවීම නිසා වසර 10 සිට 80000දක්වා ඔවුන්ගේ ආයු කාලය දික් වේ. මෙය කාලයත් සමඟ සිදුවන ක්‍රියාවලියක් බව සැළකුව මැනවි. 
මේ කාලය වනවිට සංඛ නම් චක්‍රවර්තී රජ කෙනෙක් මානව වර්ගයා පාලනය කරයි. ඔහුගේ කාලයේදී තුසිත දිව්‍යලෝකයේ වැඩවෙසෙන නාථ නම් බෝධිසත්තවයන් වහන්සේ මානව වර්ගයා අතර අජිත ජන නමින් ඉපිද මෛත්‍රෙය යන නමින් බුද්ධත්වයට පත්වේ. තවත් කල්ප ගණනාවකට ඉන් අනතුරුව බුදු කෙනෙක් පහළ වන්නේ නැත. එම බුදුන් වහන්සේගෙන් අනතුරුව නැවතත් මානව වර්ගයා පිරිහීමට ලක්වේ. කලින් සිදු වූවා සේම අන්තර් කල්පයෙන් අන්තර් කල්පය ගතවේ. අවසානයේදී 19 වන අන්තර් කල්පය අවසානයේ මානවයාගේ ආයු කාලය 80000දක්වා දික් වූ විට එය නැවත අඩුවීම ඇණහිටී. විවට්ඨස්ථායී කල්පයේ අවසානය එයයි.

සාම්වට්ඨ කල්පය -- Eon of Dissolution : 
සාම්වට්ඨ කල්පය යනු විවට්ඨ කල්පයෙහි විරුද්ධ අවස්ථාවයි. එනම් මෙහිදී එක් එක් ජීවීන් එක් එක් මානසික ස්තරයෙන් පහළට යාම සිදු නොවී එහි විරුද්ධ අතට, එනම් එක් එක් ස්තරයෙන් ඉහළට යාමට පටන් ගනී. මේ අනුව නිරයේ ඉපදුණු ජීවීන් තිරිසන් ලෝකයේ ද, තිරිසන් ලෝකයෙන් අසුර ලෝකයට ද වශයෙන් ක්‍රම ක්‍රමයෙන් ගමන් කරමින් අවසානයේ 14 වන මානසික ස්තරයෙන් ඉහළට සියලුම ජීවීන් ගමන් ගනී. බ්‍රහ්ම ලෝක ජීවීන්ගෙන් පිරී යයි. මෙසේ reverse order එකට සිදුවීම් සිදුවීම නූතන විද්‍යාවට අලුත් සංකල්පයක් නොවේ. නූතන විද්‍යාවේ එන එක් විශ්ව මොඩලයක් (Cosmological Model) වන Closed Universe ට අනුව සිදුවන්නේ මෙයයි. එනම් විශ්වයේ ඝනත්වය වැඩිවීම නිසා යම් අවස්ථාවක ප්‍රසාරණය නැවතී නැවතත් විශ්වය ගුරුත්වය යටතේ බිඳවැටීමයි. එහිදී සියලු සිදුවීම් නැවත පිටුපසට (Reverse order එකට) සිදුවේ. නමුත් තාපගති විද්‍යාව දෙවන නියමය මීට බාධා එල්ල කරයි. එනම් විශ්වයේ සසම්භාවී ස්වභාවය (Entropy) වැඩිවනවා මිස අඩුවිය නොහැක යන තර්කයයි. නමුත් ආපසු අතට සිදුවන ක්‍රියාවලි නූතන විද්‍යාව තුළ ද පවතින වැදගත් සංකල්ප වේ. සාම්වට්ඨ කල්පය අවසානයේ ලෝක ධාතුව ගින්නෙන් විනාශ වී යයි. කල්ප 8කට වරක් සාම්වට්ඨ කල්පයක් අවසානයේ සමස්ත සහස්සී චූලනිකා ලෝක ධාතුවම ජලයෙන් විනාශ වී යයි. කල්ප 64 කට වරක් සාම්වට්ඨ කල්පයක් අවසානයේ සමස්ත මඣ්ඣිමනිකා ලෝක ධාතුවම සුළඟින් විනාශ වී යයි.

සාම්වට්ඨ ස්ථායී කල්පය -- Eon of Dissolution-Duration : 
මෙහිදී සමස්ත ලෝක ධාතුව ම තුළ පවතින්නේ ශූන්‍යත්වයයි. එහි අලුතෙන් සිදුවන දෙයක් නැත. අන්තර් කල්ප පවා සිදුවී වලින් තොරව ගෙවී යයි.
බෞද්ධ පරිණාම විශ්ව න්‍යායවේදය මෙසේ ය. බුදු දහම යනු පරිණාමය පිළිබඳ විද්‍යාවකි. සෑම සත්ත්වයෙකු ම පරිණාමය (Evolve) වන බව මුල් වරට දේශනා කළේ බුදුරජානන් වහන්සේ විසිනි.

අවසාන වශයෙන් සඳහන් කළ යුතු කරුණක් තිබේ. එනම් ලෝකාවසානය පිළිබඳ විවිධ මතයන් ය. මෙහි එන ගින්නෙන් ලෝකය විනාශ වීම, ජලයෙන් ලෝකය විනාශ වීම හා සුළඟින් ලෝකය විනාශ වීම යන කරුණු ඇතැමුන්ට ආගන්තුක විය හැක. නමුත් නූතන විශ්ව න්‍යායවේදය තුළ ද මෙම කරුණු පවතින බව සිහිපත් කිරීම වටී.

උදාහරණයක් ලෙස, අපගේ සූර්යයාගේ ජීව කාලය අවසානයේ, තව වසර බිලියන 5කින් පමණ සූර්යයා රතු යෝධ තාරකාවක් (Red Giant Star) බවට පත්වේ. මෙහිදී සූර්යයා කොතරම් විශාල වේදැයි කිවහොත් අඟහරු කක්ෂයෙනුත් ඉවතට යන ගණනට සූර්යයාගේ අරය වැඩිවේ. මේ වනවිට පෘථිවිය ඇතුලු මුලු මහත් සූර්යග්‍රහමණ්ඩලයම සූර්යයාගේ ගිනිදැල් වලට හසුවී විනාශ වේ. මින් අදහස් කෙරෙන්නේ කල්පයක් අවසානයේ ගින්නෙන් විනාශ වී යන ලෝක ධාතුව පෘථිවිය බව නොවේ. මා ඉදිරිපත් කරන්නේ ගින්නෙන් ලෝකයක් විනාශ වී යෑම අරුමයක් නොවන බව ය.එපමණක් ද නොවේ කාලයෙන් කාලයට සිදුවන මන්දාකිණි ගැටීම් (Galactic Collisions) නිසා ද ඇතැම් ලෝක විනාශ වී යයි. ඊට හේතූන් වන්නේ ගැටීම් වලින් හටගන්නා ප්‍රබල කම්පන තරංග (Shock Waves) ය. සුළඟ යනු අන්වායාම තරංග වලින් හටගන්නා කම්පන තරංගයන්හි ප්‍රතිඵලයක් වන අතර අන්තර් මන්දාකිණි කම්පන තරංග (Galactic Shock Waves) යනු ද අන්වායාම තරංග විශේෂයක් වේ.

එපමණක් ද නොවේ. විශ්වයේ අවසානය සිදුවිය හැක්කේ කෙසේ ද යන පැනයට නූතන විද්‍යාඥයන් දෙන පිළිතුරක් තුනකි. ඒවා මෙසේ ය:

  • Open Universe : විශ්වයේ ප්‍රසාරණය වීමේ වේගය අවම කිරීමට සමත් පදාර්ථ ප්‍රමාණයක් එහි අන්තර්ගත නොවේ නම් විශ්වය සදාකාලිකව ම ප්‍රසාරණය වනු ඇත. 1998දී කරන ලද Type 1a Supernovae අධ්‍යයනයන් මගින් විශ්වය ත්වරණයකින් ප්‍රසාරණය වන බැව් සොයාගෙන තිබේ. මේ අනුව දිගින් දිගටම ප්‍රසාරණය වෙමින් යෑමේදී සිදුවනු ඇත්තේ යම් දිනෙක අප වටා ඇති සියලුම මන්දාකිණි අපගේ නිරීක්ෂණාත්මක විශ්වයෙන් (Observable Universe) ඈත්ව ගොස් ක්ෂීරපථය පමණක් "අපගේ" විශ්වයේ තනි වීම ය. එවිට අන්තර් මන්දාකිණි ගුරුත්ව බලපෑම් (Inter galactic gravitational effects) නැති වී, අප වාසය කරන ලෝක වලට බාහිර විශ්වයෙන් ලැබෙන ශක්තීන් නොමැති වී සියලුම ලෝක "සිසිල් මරණයකට" මුහුණදීම ය. විශ්ව න්‍යායවේදීන් මෙවන් අවස්ථාවකට භාවිතාකරන වදන වන්නේත් පුදුමයකට මෙන් Cold Death යන්නයි. දැනට ඔවුන් විශ්වාස කරන පරිදි වඩාත්ම වියහැකි (likely) විශ්වාවසානය මෙයයි.

  • Flat Universe : විශ්වයේ යම් නිශ්චිත පදාර්ථ ඝනත්වයක් (Critical Density, Ω=(1 හෝ 2) × 10-26 kg/m3) ඇති අවස්ථාවකදී එය සංකෝචනයත් නොවී, දිගින් දිගටම ත්වරණයකින් ප්‍රසාරණයත් නොවී, සංකෝචනය වීම වැලැක්වීමට අවශ්‍ය යම් නියත ප්‍රවේගයකින් පමණක් ප්‍රසාරණය වේ. නමුත් ඉතා සුලු ඝනත්ව වෙනසකින් මෙම තත්ත්වය දෙපැත්තෙන් එක් පැත්තකට පරිවර්තනය විය හැක. මෙය හරියට පිහි තලයක් මත පැන්සලක් සමබර කිරීමට සමාන ය. එබැවින් විද්‍යාඥයෝ මෙය සිදුවිය නොහැකි සිදුවීමක් ලෙස දකිති. (දැනට සොයාගෙන ඇති පරිදි විශ්වයේ ඝනත්වය මීට වඩා සියගුණයකින් පමණ අඩු වේ. එය ආසන්නව ඝන මීටරයට පරමාණු 0.2ක් පමණි).

  • Closed Universe : යම් හෙයකින් විශ්වයේ ඝනත්වය උක්ත ඝනත්වයට (Critical Density, Ω) වඩා වැඩි නම් විශ්වය තම ගුරුත්වය යටතේ බිඳවැටේ. අනතුරුව එහි තිබෙන සියලුම පදාර්ථ එකට පොදියකට ගොනු වී "තාපමය මරණය"කට විශ්වය භාජනය වේ. මෙය විද්‍යාඥයන් හඳුන්වන්නේ heat death යනුවෙනි.

නමුත් මේ හරහා බෞද්ධ විශ්ව න්‍යායවේදය සහ නූතන විශ්ව න්‍යායවේදය ඍජු ලෙස සන්සන්දනය කිරීම උචිත නොවේ. අවසාන වශයෙන් කිව යුත්තේ බෞද්ධ විශ්ව න්‍යායවේදය යනු ස්ථිර (Definite) විෂයයක් බවයි.